AI ව්‍යාජ ගිණුම් සහ Deepfake වීඩියෝ මගින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක් – නව පර්යේෂණ වාර්තාවක් හෙළි කරයි

0
5

ෆේස්බුක් ජාලය තුළ භාවිත වන කෘත්‍රිම ගිණුම් (synthetic personas) සහ දේශපාලනික Deepfake වීඩියෝ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මැතිවරණවල සාධාරණත්වයට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව නව පර්යේෂණ වාර්තාවකින් හෙළිදරව් වේ.

ස්වාධීන පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද From bedrooms to Parliament: AI women, political deepfakes, and Facebook’s growing failures නම් මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, මුලදී වැඩිහිටි චැට්, සූදු සහ ක්‍රිප්ටෝ වංචා සඳහා පරිශීලකයන් යොමු කිරීමට භාවිත කළ ව්‍යාජ කාන්තා AI ගිණුම්, මේ වන විට සංවිධානාත්මක ලෙස දේශපාලනික මතවාද ප්‍රචාරය කිරීමට යොදාගන්නා බවයි.

  • අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කරගත් Deepfakes: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අනුකරණය කරමින් ඇය නොපැවසූ කරුණු ඇතුළත් කර සකස් කළ AI වීඩියෝ 10ක් නරඹා ඇති වාර ගණන ලක්ෂ 12 (මිලියන 1.2) ඉක්මවා ඇත.

  • නොමඟ යවන සුළු අන්තර්ගත: මදුරුවන් සමලිංගිකයන් කිරීමෙන් ඩෙංගු මර්දනය කරන බවට අග්‍රාමාත්‍යවරිය පවසන අයුරින් නිර්මාණය කළ එක් වීඩියෝවක් පමණක් වාර 3,24,000කට වඩා නරඹා තිබේ.

  • ෆේස්බුක්හි අසාර්ථකත්වය: AI මෘදුකාංගයේ දිය සලකුණ (watermark) පැහැදිලිව තිබියදී පවා, එම වීඩියෝ AI මගින් සකසන ලද බවට වන නිල දැනුම්දීමක් (labeling) ප්‍රදර්ශනය කිරීමට ෆේස්බුක් පියවර ගෙන නොමැත.

  • කාන්තා විරෝධී මඩප්‍රචාර: මේ හරහා අග්‍රාමාත්‍යවරියට එල්ල වූ ස්ත්‍රී පුරුෂභාවය මුල් කරගත් අපහාසාත්මක ප්‍රහාර වැඩි වී ඇති අතර, බොහෝ පරිශීලකයන් මෙම අසත්‍ය තොරතුරු සැබෑ ඒවා ලෙස පිළිගෙන ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ඉදිරිපත් කළ ඉල්ලීම්:

සැප්තැම්බර් 7 වන දිනැති ලිපියක් මගින් ආචාර්ය හත්තොටුව මෙම වාර්තාව අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යොමු කරමින් පහත පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි:

  • මෙටා (Meta) සමාගම මැදිහත් කරගැනීම: සිංහල සහ දෙමළ භාෂාවලින් සිදුවන AI අතථ්‍ය වංචා හඳුනා ගැනීමටත්, ඒවා AI ලෙස සටහන් කිරීමටත් මෙටා ආයතනයෙන් වගකීම් සහගත ප්‍රතිචාරයක් ලබාගැනීම.

  • සමාජ මාධ්‍ය සුරක්ෂිතතාව: ස්ත්‍රී පුරුෂභාවය මුල් කරගත් මඩගැසීම් වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට හදිසි සමාලෝචනයක් සිදුකිරීම.

  • බහුපාර්ශ්වික සහයෝගීතාව: රජය සහ විපක්ෂය යන දෙපාර්ශ්වයටම එල්ල වන මෙම තර්ජනය පාලනය කිරීමට මෙටා ආයතනය, මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලාංකික බලධාරීන් සහ ස්වාධීන පර්යේෂකයන් එක්ව කටයුතු කිරීම.

ඉදිරි මැතිවරණවලදී සහ රාජ්‍ය පාලන ක්‍රියාවලියේදී සිදුවන දේශපාලන සංවාදවලට මෙවැනි AI තාක්ෂණයන් හරහා එල්ල විය හැකි අහිතකර බලපෑම පිළිබඳව මෙම වාර්තාව දැඩි ලෙස අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here