ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව ශ්‍රී ලංකාවට නිරිතදිග මුහුදේ පවතින ඉරාන නෞකා 19 සඳහා සැපයුම් ලබාදීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ද්විතීක සම්බාධක (Secondary Sanctions) පැනවීමට සිදුවනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත වාර්තා කරයි.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර, පවතින තත්ත්වය හමුවේ අදාළ නෞකාවලට සැපයුම් ලබාදීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද අදාළ නෞකා කිහිපයකට දැනුම් දී ඇති බව සඳහන් වේ.
සම්බාධක පනවා ඇති නෞකාවලට නාවික නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් හෝ වෙනත් පාර්ශ්වයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සහාය දැක්වීමෙන් අමෙරිකානු සම්බාධකවලට ලක්වීමේ අවදානම පිළිබඳව පැහැදිලි කරමින්, සැප්තැම්බර් මැද භාගයේදී ශ්‍රී ලාංකික නිලධාරීන් 40කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තෙදින පුහුණු වැඩසටහනක් ද අමෙරිකානු තානාපති කාර්යාලය විසින් පවත්වා ඇති බව අදාළ පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

