ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා නවදිල්ලි නුවරදී හමුවී තිබේ.
මෙම හමුවෙන් අනතුරුව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සදෘඪ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාර්ථක සාකච්ඡාවක් පැවැත්වූ බවයි. විශ්වාසනීය සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව සෑම විටම පෙනී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) “Know BJP” වැඩසටහන යටතේ ලැබුණු නිල ආරාධනයකට අනුව තිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත මෙම ජේවීපී නියෝජිත පිරිස සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 01 දක්වා දින 5ක කාලයක් ඉන්දියාවේ සංචාරයක නිරත විය. දෙපක්ෂය අතර සබඳතා වර්ධනය කරගැනීම, සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කරගැනීම සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කර තිබේ.
මෙම නියෝජිත පිරිසට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා සභික චන්ද්‍රිකා අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා, දිස්ත්‍රික් කාරක සභා සභික කබිලන් සුන්දරමූර්ති සහ ජාත්‍යන්තර අංශයේ සාමාජිකා කල්පනා මධුභාෂිණී යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ.
සංචාරය අතරතුරදී නියෝජිත පිරිස, භාරතීය ජනතා පක්ෂයේ ජාතික ප්‍රධාන ලේකම් (සංවිධායක) බී. එල්. සන්තෝෂ් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් හමුවී සාකච්ඡා පවත්වා ඇත. එහිදී BJP පක්ෂයේ සංවිධාන ව්‍යුහය, පාක්ෂික ජාලය ක්‍රියාත්මක වන ආකාරය සහ ඉන්දියාවේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙන තිබේ.
මීට අමතරව, දිල්ලි මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය මෙන්ම දිල්ලි BJP ප්‍රධානී හර්ෂ් මල්හෝත්‍රා මහතාද හමුවූ අතර, ඉන්දීය පාර්ලිමේන්තුව, ජාතික යුද ස්මාරකය මෙන්ම BJP කාන්තා සහ යොවුන් සංවිධාන සමඟ ද හමුවීම් පවත්වා ඇත. මෙම සංචාරයේදී ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව, සරණාගතයින් නැවත පදිංචි කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැනි වැදගත් කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා වී තිබේ.

