හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ අතිශය ජනප්‍රිය ළමා නවකතාවක් වන ‘මඩොල් දූව’ කෘතියේ ස්වීඩන් පරිවර්තනය ඇසුරින් ස්වීඩනයේ වෙසෙන පාසල් දරුවන් උදෙසා විශේෂ සංස්කෘතික වැඩසටහනක් ස්ටොක්හෝම් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.
නූතන සිංහල සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව ස්වීඩන් ජාතික බාල පරපුර දැනුවත් කිරීමත්, ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමය හා පාරම්පරික සිරිත් විරිත් පිළිබඳ අවබෝධයක් ලබා දීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
එහිදී කෘතියේ එන කථා පුවත, එහි චරිත සහ නවකතාවෙන් පිළිඹිබු වන සංස්කෘතික ලක්ෂණ පිළිබඳව දරුවන්ට පැහැදිලි කර දෙන ලදී.
‘මඩොල් දූව’ කෘතිය ස්වීඩන් භාෂාවට පරිවර්තනය කළ ප්‍රියංවදා එම්. බන්ඩුවර්ධන මහත්මිය විසින් එහි පරිච්ඡේදයක් දරුවන් වෙනුවෙන් ගායනා කරමින්/කියවමින් ඉදිරිපත් කළ අතර, අනතුරුව කතාව, ශ්‍රී ලංකාව සහ එහි සංස්කෘතිය පිළිබඳව සිසුන් සමඟ සුහද සංවාදයක ද නිරත විය.
මීට අමතරව, නවකතාව ඇසුරෙන් සංවිධානය කර තිබූ නිර්මාණාත්මක චිත්‍ර ඇඳීමේ වැඩසටහනකට ද දරුවන් සහභාගී වූ අතර, තමන්ගේම සිතුවිලි සහ පරිකල්පනය උපයෝගී කරගනිමින් එහි තේමාවන් සහ චරිත ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන්ට එහිදී අවස්ථාව හිමි විය.
වැඩසටහන අවසානයේදී සහභාගී වූ දරුවන්ට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය කෑම්බීම් සහ ලංකා තේ (Ceylon Tea) මඟින් සංග්‍රහ කරමින් ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරයේ රසවිඳීමට අවස්ථාව සලසා දී ඇත.
ස්වීඩනය තුළ ශ්‍රී ලාංකේය සාහිත්‍යය සහ කලා නිර්මාණ ප්‍රවර්ධනය කිරීමත්, දෙරට අතර ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන රාජ්‍යදූත සංස්කෘතික වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කළ බව තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

