පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමේදී බලය අයුතු ලෙස යොදවා දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, අදාළ විමර්ශන ගොනු නිර්දේශ සඳහා කොමිසමේ කොමසාරිස්වරුන් වෙත යොමුකර ඇති බවයි. සැකකාර හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග දැනුම්දීමට දිනයක් ලබාදෙන ලෙසද නිලධාරීහු මෙහිදී ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුව යළි දෙසැම්බර් 18 වැනිදා කැඳවීමටත්, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසත්ය.
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයන් තේරීමේදී තමන්ට දේශපාලනිකව හිතවත් පිරිස් නීතිවිරෝධී ලෙස තෝරාගනිමින් දූෂණය නමැති වරද සිදුකළ බවට මනුෂ නානායක්කාර මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

