NEWSNOW | – ලෝක ආහාර වැඩසටහනේ සහාය ඇතිව ක්‍රියාත්මක වන පාසල් දරුවන් අතර රක්තහීනතාවය අවම කිරීම අරමුණු කරගත් “පාසල් පෝෂණ වැඩසටහන” අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ප්‍රතිපත්තිමය තීරණය කරයි.
ජනාධිපති ලේකම් වෛද්‍ය නන්දික සනත් කුමානායක මහතා ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහනට සම්බන්ධ අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල නියෝජිතයින්, ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ පාත්ෆයින්ඩර් පදනමේ නිලධාරීන් සමඟ සාකඡ්චා පවත්වා තිබේ.
ඉහළ මන්දපෝෂණයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ප්‍රාථමික පාසල් සිසුන්ට පෝෂ්‍යදායී දිවා ආහාරය ලබා දීමේ රජයේ මුලපිරීම සමඟ සමපාත වන පාසල් ආහාර වැඩසටහන, විශේෂයෙන් පාසල් දරුවන් අතර යකඩ ඌනතාවය අඩු කිරීම මෙහි ඉලක්කයයි.
මෙම මුලපිරීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, ආහාර ප්‍රවර්’ධන මණ්ඩලය සහ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතාව සඳහා හවුල්කාරිත්ව ලේකම් කාර්’යාලය විසින් ඒකාබද්ධව සම්බන්ධීකරණය කරනු ලැබේ. වත්මන් වසර සඳහා මෙම වැඩසටහන සඳහා රජය රුපියල් බිලියන 32 ක් වෙන් කර ඇත.
තෝරාගත් දිස්ත්‍රික්ක හතරක දැනට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මෙම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල තක්සේරු කරන විධිමත් සෞඛ්‍ය සහ පෝෂණ අධ්‍යයනයක් මත පදනම්ව, වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම මුලපිරීම හරහා පාසල් දරුවන් අතර යකඩ ඌනතාවය කොතරම් දුරට අඩු කළ හැකිද යන්න තීරණය කිරීම මෙම අධ්‍යයනයේ අරමුණයි.
වැඩසටහනේ කොටසක් ලෙස, සිසුන් අතර රක්තහීනතාවයට විශේෂයෙන් පිළියම් යෙදීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලයෙන් පොහොසත් ශක්තිමත් කළ සහල් පාසල් ආහාර වේලට ඇතුළත් කෙරේ.
ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, ගේට්වේ පදනම සහ පාත්ෆයින්ඩර් පදනම මෙම උත්සාහය සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබාදීමට පොරොන්දු වී ඇත.