22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් 67ක් සලකා බැලීම අද (02) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.
ඊයේ (01) පෙරවරු 10ට ආරම්භ වූ පෙත්සම් සලකා බැලීම රාත්‍රී 10.30 පමණ වන තෙක් දීර්ඝ ලෙස සිදු කෙරිණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත්, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
මෙම පනත් කෙටුම්පත මගින් අගවිනිසුරුවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ වන බැවින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවන බව පවසමින්, මෙය පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ, විනිසුරු මඬුල්ලේ සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරුවරයා සතු බවට සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා කළ කරුණු දැක්වීම් ද සලකා බලමිනි.
අනතුරුව පැවැති විභාගයේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි සහ ශ්‍රීනාත් පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය මත විනිසුරුවරුන්ගේ නිදහසට බලපෑම් කිරීමට ආණ්ඩුවකට හැකියාවක් නොමැති බවයි. එමෙන්ම මෙම පනත මගින් විනිසුරුවරුන්ට සෘජු හෝ වක්‍ර බලපෑමක් සිදුවන බැවින් ඊට අදාළ තීරණය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ද අධිකරණය හමුවේ තර්ක කෙරිණි.
අද දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන්ගේ සහ නීතීපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකිරීමට නියමිතව ඇත.

