2027 ශ්‍රී ලංකා එක්ස්පෝ (Sri Lanka Expo) සඳහා පලස්තීන ව්‍යාපාරික නියෝජිත පිරිසක් එක්වීමට සූදානම්

0
9

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර ද්විපාර්ශ්වික වෙළඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීමේ පියවරක් ලෙස, 2027 වසරේ පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා එක්ස්පෝ’ (Sri Lanka Expo 2027) ප්‍රදර්ශනය සඳහා පලස්තීන ව්‍යාපාරික නියෝජිත පිරිසක් යැවීමට පලස්තීනය සිය කැමැත්ත පළ කර තිබේ.

පලස්තීනයේ රාමල්ලා (Ramallah) හි පිහිටි ජාතික ආර්ථික අමාත්‍යාංශ මූලස්ථානයේදී, පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ෆාරුක් මොහොමඩ් ෆවුසර් (Farook Mohamed Fawzer) මහතා සහ පලස්තීන ජාතික ආර්ථික අමාත්‍ය මුහම්මද් අල්-අමූර් (Muhammad Al-Amur) මහතා අතර පැවැති විශේෂ හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.

2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය හරහා පලස්තීන ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළවල් සොයා ගැනීමටත්, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටත් ලැබෙන අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිතවරයා කරුණු පැහැදිලි කළේය.

පලස්තීන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම වාණිජ මණ්ඩල සාමාජිකයන් ඇතුළත් නියෝජිත පිරිසක් සමඟ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස අමාත්‍ය අල්-අමූර් මහතා වෙත නිල ආරාධනාවක් සිදුකර ඇත.

කොළඹ වරාය නගරය (Port City Colombo) ඇතුළු ශ්‍රී ලංකාවේ පවතින නැවුම් ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, ඊට සක්‍රීයව දායක වන ලෙස පලස්තීන පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියේය.

 මෙම ආරාධනාව සාදරයෙන් පිළිගත් පලස්තීන අමාත්‍යවරයා, අදාළ ව්‍යාපාරික නියෝජිත පිරිස පෙරටු කරගනිමින් කොළඹට පැමිණීමට සිය සූදානම පළ කළේය.

වසර 50කට වැඩි කාලයක් පුරා පවතින ශ්‍රී ලංකා – පලස්තීන දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සබඳතාව මෙහිදී මතක් කරදුන් අමාත්‍යවරයා, දෙරට අතර ආර්ථික හා වාණිජමය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට කැපවන බවට තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here