ඓතිහාසික කැලණි රජමහා විහාරයේ ලබන වසරේ පැවැත්වෙන 100 වැනි දුරුතු මහ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදෙස් සංචාරකයන් වෙනුවෙන් සකස් කෙරුණු විශේෂ සංචාරක ගැලරියක් (Tourist Enclosure) පසුගියදා එම විහාරස්ථානයේ දී නිල වශයෙන් එළිදැක්විණි.
මෙමඟින් විදෙස් අමුත්තන්ට බාධාවකින් තොරව පෙරහැර ඉදිරිපසින්ම නැරඹිය හැකි වෙන්කළ ආසනයක් හිමි වන අතර, ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට හැකිවන පරිදි මෙම ආසන මනා ලෙස සකස් කර ඇත. ජර්මනිය, එක්සත් රාජධානිය, ප්රංශය සහ ඉන්දියාව ඇතුළු රටවලින් සංචාරකයන් 400 දෙනකු පමණ එළැඹෙන පෙරහැර නැරඹීමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙේ.
දේශීය අමුත්තන්ටද ආසන වෙන් කර ගත හැකි අතර, www.kelaniyaerahara.com නිල වෙබ් අඩවිය ඔස්සේ ඒවා වෙන්කරවා ගැනීමේ පහසුකම සලසා දී ඇත. මීට අමතරව, සංචාරක නියෝජිත ආයතන, සංචාරක මෙහෙයුම්කරුවන් සහ හෝටල්වලට සමූහ වෙන්කිරීම් සඳහා සංවිධායක කමිටුව සෘජුවම සම්බන්ධ කරගැනීමේ අවස්ථාවද ලබා දී තිබේ.
100 වැනි වරට පැවැත්වෙන මෙම ඓතිහාසික මහ පෙරහැර 2027 ජනවාරි 21 වැනි බ්රහස්පතින්දා රාත්රී 7.30ට වීථි සංචාරය කිරීමට නියමිතය. කැලණි රජ මහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්යාය, සම්මානිත මහාචාර්ය අතිපූජ්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ අනුශාසනා සහ ආශිර්වාදය මත, මහාචාර්ය පූජ්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ මෙවර පෙරහැර කටයුතු සංවිධානය කෙරේ.

