එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන මෙරට පුරවැසියන් සඳහා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ සහ වැදගත් නිවේදනයක් නිකුත් කර ඇත.
ගමන් බාධා හෝ හදිසි වෛද්ය අවශ්යතා වැනි අනපේක්ෂිත තත්ත්වයන් සාර්ථකව මඟහරවා ගැනීම පිණිස, සියලු සංචාරක වියදම් සම්පූර්ණයෙන්ම දැරීමට තරම් ප්රමාණවත් මූල්ය ශක්තියක් තමන් සතුව ඇති බවට වග බලා ගන්නා ලෙස එහිදී දැඩිව අවධාරණය කර තිබේ.
එසේම, වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා මනා සූදානමකින් යුතුව සහභාගී වන ලෙසත්, එක්සත් ජනපදයට ඇතුළු වීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට කිසිදු ඉඩකඩක් නොමැති බවට සැබෑ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් වන ලෙසත් දන්වා ඇත.
විශේෂයෙන්ම, වීසා ලබා ගැනීමේ අරමුණින් කිසිදු අවස්ථාවක ව්යාජ ලේඛන ඉදිරිපත් නොකරන ලෙස තානාපති කාර්යාලය දැඩිව අවවාද කරයි. ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතල වංචාවක් වන අතර, එමඟින් වර්තමාන වීසා බලපත්රය අහිමි වීමට අමතරව අනාගතයේදී කවරදාකවත් අමෙරිකානු වීසා ලබා ගැනීමට ස්ථිරවම නුසුදුස්සෙකු වීමට ද එය හේතු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

