හෝමුස් සමුද්ර සන්ධිය ආසන්නයේ වෙළඳ නෞකාවලට එල්ල වන ප්රහාර උග්රවීමත් සමඟ සාගරික ආරක්ෂාව සහ ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳ බියක් නිර්මාණය වී ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය තම ඉල්ලීම් පිළිගන්නා තෙක් සටන් වදින බවට ඉරානය ප්රකාශ කර ඇත.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) සඳහන් කර ඇත්තේ ටෙහෙරානය වොෂින්ටනය සමඟ නිමාවක් නැති යුද්ධයක් හෝ දීර්ඝකාලීන සාකච්ඡා බලාපොරොත්තු නොවන නමුත්, තමන්ගේ ඉල්ලීම් ඉටුවන තෙක් සටන අඛණ්ඩව කරගෙන යන බවයි.
උපායමාර්ගික වශයෙන් වැදගත් හෝමුස් සමුද්ර සන්ධිය ආසන්නයේ නෞකා ඉලක්ක කරගනිමින් එල්ල වන ප්රහාර දැඩි වීමත් සමඟ නෞකා දෙකක් ගිලී යාමෙන් පසුව මෙම තත්ත්වය තවදුරටත් උග්ර වී තිබේ. වාර්තාවලට අනුව එක් නෞකාවකට ප්රහාරක මිසයිලයක් හෝ පක්ෂේපණයක් (projectile) පතිත වී ඇති අතර, අනෙක් නෞකාව මුහුදු බෝම්බයක (sea mine) ගැටීමෙන් ගිලී ගොස් ඇත.
ජාත්යන්තර තෙල් සහ ද්රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්රවාහනය කරන ප්රධානතම නෞකා මාර්ගය වන මෙම මුහුදු තීරයේ වෙළඳ නෞකාවල ආරක්ෂාව පිළිබඳව පැවැති ගැටලු මෙම සිදුවීම් සමඟ තවදුරටත් වර්ධනය වී තිබේ.
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සාගරික ගමනාගමනයට බාධා එල්ල වී ඇත. එමෙන්ම සමුද්ර සන්ධිය සහ ඒ අවට නෞකා මාර්ගයන්හි තමන් සතු පාලනය තද කිරීම සඳහා නව උපක්රම අනුගමනය කරන බවද ටෙහෙරානය ඉඟි කර තිබේ.
මෙම ගැටුම්කාරී තත්ත්වය සහ තෙල් සැපයුම පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් මතුවෙමින්, ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.
කලාපීය ස්ථාවරත්වයට මෙන්ම ජාත්යන්තර වෙළඳාමට තර්ජනයක් වෙමින් ඉදිරියටත් ප්රහාර එල්ල වීමේ අවදානමක් පවතින බැවින් මෙම කලාපයේ තත්ත්වය තවදුරටත් නොසන්සුන්කාරී ලෙස පවතී.

