හෝමාගම පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ මරණය සම්බන්දයෙන් සිවිල් පුද්ගලයින් සහ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනී.

0
8

හෝමාගම පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහල්ගත කෙරුණු සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සහ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත. පසුගිය 25 වැනිදා සිදුවූ මෙම මරණයට අදාළ සාක්ෂි රැස් කිරීමේ කටයුතු මේ දිනවල වේගයෙන් සිදුවෙමින් පවතී.

විමර්ශනවලට අදාළව, මියගිය පුද්ගලයා සමඟ ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාරගත කර සිටින අනෙක් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් පසුගිය 29 වැනිදා බන්ධනාගාරය වෙත ගොස් ඇත.

මීට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගත් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති (උප පොලිස් පරීක්ෂකවරයා) පසුගිය 29 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තවදුරටත් අනාවරණය වී ඇත්තේ, මියගිය සැකකරු ඔක්තෝබර් 24 වැනිදා පස්වරු 1.05ට රිය අනතුරකින් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එදිනම පස්වරු 5.55ට ඔහු අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. මෙම තොරතුරු ද විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here