කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි දියගම වනාන්තර කලාපය රක්ෂිතයක් ලෙස නම් කර ආරක්ෂා කිරීම සඳහා රජය විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
අතහැර දමා තිබූ කුඩා භූමි ප්‍රදේශයක් ස්වභාවිකව වර්ධනය වී පසුගිය වසර 20ක පමණ කාලය තුළ වැසි වනාන්තරයක ලක්ෂණ සහිත සංවේදී පරිසර පද්ධතියක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නාගරීකරණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අහිමි වූ වන සතුන් රැසක් මේ වන විට මෙම පරිසර කලාපයට සංක්‍රමණය වී ජීවත් වන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. ඩබ්. රන්වල මහතා ඇතුළු විද්වතුන් පිරිසක් සිදුකළ පර්යේෂණාත්මක ක්ෂේත්‍ර අධ්‍යයනවලට අනුව, මෙම භූමිය ආශ්‍රිතව ශාක හා සත්ත්ව විශේෂ 120කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ මෙන්ම රත් උණහපුළුවා වැනි දුර්ලභ සතුන් ද මෙහි වාසය කරන අතර, පැටවුන් බිහි කිරීමට ආසන්න ගැබ්බර සතුන් ද වාර්තා වීමෙන් මෙම පරිසර පද්ධතියේ ඉහළ ජෛව විවිධත්වය තහවුරු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි මෙම හරිත කලාපය, ප්‍රදේශයේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම සඳහා ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පැරිස් සම්මුතියට අනුකූලව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්කය ළඟා කර ගැනීම සඳහා ද මෙම වනාන්තරය සෘජු දායකත්වයක් ලබා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම බොල්ගොඩ ජල පද්ධතියට ජලය සපයන වැදගත් ජලපෝෂක කලාපයක් ලෙස ද මෙම පරිසර පද්ධතිය ක්‍රියාත්මක වේ.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරයා, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මඟින් මෙම වටිනා භූමිය නිල වශයෙන් රක්ෂිතයක් බවට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

