සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට (Anojan Sivarasa) රාජකීය සමාව (Royal clemency) ලබා දෙන ලෙස ඉල්ලමින් දෙමළ සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් සෞදි අරාබි රාජ්‍යයෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබේ.
සැප්තැම්බර් 24 වැනිදා දිනැතිව සවුදි විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ, අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා මානුෂීය පදනම මත හදිසි සහ අනුකම්පා සහගත මැදිහත්වීමක් සිදුකරන ලෙසයි.
අනෝජන්ට මුලින් නියම කර තිබූ වසර පහක සිරදඬුවම සහ දඩ මුදල, ඉහළ අධිකරණයක පැවැති නඩු විභාගයකින් පසුව මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බව මන්ත්‍රීවරු පවසති. මෑතකදී වාර්තා වූ තොරතුරු මගින් ද ඔහුගේ මුල් සිරදඬුවම පසුව මරණ දඬුවම දක්වා වැඩි කර ඇති බව තහවුරු විය.
ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම සිදුවීමට අදාළ ෆේස්බුක් (Facebook) සටහන අනෝජන් විසින් වහාම ඉවත් කර පසුව ඒ පිළිබඳව ක්ෂණිකව කණගාටුව පලකර සමාව අයැද සිටි බවයි. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ හෝ අගෞරව කිරීමේ කිසිදු චේතනාවක් ඔහු තුළ නොතිබූ බව ද මන්ත්‍රීවරු පෙන්වා දෙති.
අදාළ වරදේ ස්වභාවය, දැනට ගෙන ඇති නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික පියවරයන් සහ අනෝජන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි හා තහවුරු කළ තොරතුරු පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ලබාදෙන ලෙස ද මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
සවුදි රජය සතු සහනශීලී බව සහ සහකම්පනය යන මානුෂීය අගයන් පෙරදැරි කරගනිමින්, මෙම හිමිකම් නඩුව කෙරෙහි අනුකම්පා සහගත ලෙස අවධානය යොමු කර අනෝජන්ට රාජකීය සමාව ලබා දෙන ලෙස මෙම ඒකාබද්ධ අභියාචනය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සමාව ලබාගැනීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ නියෝජිතයින් ද මේ වන විට අඛණ්ඩව උත්සාහ කරමින් සිටින පසුබිමක මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.



