සහිරා රග්බි රාත්‍රිය 2026 – ඇගයීම් හා සම්මාන ප්‍රදානෝත්සවය, විශිෂ්ටත්වය අගයමින්, ශූරයන්ට ගෞරව පුදමින්, අමරණීය මතකයන් සමරයි.

0
5

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ‘සහිරා රග්බි රාත්‍රිය සහ ඇගයීම් උළෙල’ පසුගිය නොවැම්බර් 7 වැනි සෙනසුරාදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි. විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

උත්සවයේ පිළිගැනීමේ කතාව සංගමයේ සභාපති ඉර්ෆාන් ලයි මහතා විසින් සිදුකරන ලද අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සහිරා විද්‍යාලයේ හිටපු රග්බි නායක රිස්වි ෆුවාඩ් මහතා විසින් සම්මාන හා ඇගයීම් පිරිනමන ලදී.

2026 රග්බි ලීග් තරගාවලියේ අනුශූරතාව දිනාගත් සහිරා විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායම මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය. එමෙන්ම සහිරා රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් විද්‍යාලයේ හිටපු රග්බි ප්‍රවීණයන් වන රිසා අබ්දීන්, ටෝනි අමිත්, ඉෆ්තිකාර් අහමඩ් සහ රිස්වි ෆුවාඩ් යන මහත්වරුන් ද මෙහිදී උපහාරයට පාත්‍ර වූහ.

සභාව අමතමින් විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතා සඳහන් කළේ, පසුගිය රග්බි තරග වාරයේදී සහිරා විද්‍යාලය ජාතික මට්ටමින් දෙවැනි ස්ථානය අත්කර ගැනීමට සමත් වූ බවයි. විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පාලක මණ්ඩලයේ සභාපති ෆවුසුල් හමීඩ් මහතා ඇතුළු පාලක මණ්ඩලයේ සියලු සාමාජිකයන් වෙත ද ඔහු සිය කෘතඥතාව පළ කළේය.

එමෙන්ම කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ පුහුණුකරුවන්, විද්‍යාල කළමනාකාරිත්වය, රග්බි කමිටුව, භාර ආචාර්යවරයා , දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන්ගේ කැපවීම හා සහයෝගය ද විදුහල්පතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

මෙහිදී 2024 සහ 2025 වසරවල පළමු පෙළ රග්බි කණ්ඩායම්වල සාමාජිකයන් ද ඇගයීමට ලක්කෙරුණු අතර, 2025 වසරේ සමස්ත ලංකා ශූරතාව දිනාගත් වයස අවුරුදු 14න් පහළ රග්බි කණ්ඩායම ද විශේෂ ඇගයීමකට ලක්විය.

මෙම උත්සවයේදී විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතා ද ඇගයීමට ලක් කරමින් සමරු තිළිණයක් පිරිනමන ලදී. විද්‍යාලය තුළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම හා සංවර්ධනය කිරීම වෙනුවෙන් එතුමා ලබාදෙන වටිනා දායකත්වය, අඛණ්ඩ දිරිගැන්වීම සහ නොසැලෙන සහයෝගය අගය කිරීම වෙනුවෙන් මෙම උපහාරය පිරිනමන ලදී.

මෙම අවස්ථාවට Diamond Best Foods ආයතනයේ අධිපති ජිස්ති ෆාමි මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, රග්බි රාත්‍රී උත්සව සංවිධාන කමිටුවේ සභාපති ෆවුසාන් අන්වර්, භාර ආචාර්ය රෝහිත හෙට්ටිආරච්චි, පාලක මණ්ඩල ලේකම් නුස්රි මන්සූර්, ප්‍රධාන පුහුණුකරු රාධික හෙට්ටිආරච්චි, සහාය පුහුණුකරු දනුෂ්ක බෝතේජු, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති හාසික් ජලීල්, රග්බි කමිටුවේ සභාපති අව්ෆර් ජොහාර්, ලේකම් ශිරාස් රසාක් ඇතුළු කමිටු සාමාජිකයෝ රැසක් ද සහභාගී වූහ.

උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සංගමය ලේකම් මහ්දි නමීස් මහතා ස්තුති කතාව සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here