සව්දි අරාබියේදී මරණ දණ්ඩ නියම වී, අනතුරුව සියලු චෝදනාවලින් නිදහස් වූ ශ්‍රී ලංකා පුරවැසියකු වන අනෝජ් සිවරාජාගේ පවුලේ සාමාජිකයෝ, ඔහුගේ නිදහස වෙනුවෙන් මැදිහත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ තොරතුරු වලට අනුව, අනෝජ් සිවරාජාගේ පවුලේ සාමාජිකයෝ අද (12) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා බැහැදැක සිය කෘතඥතාව පළ කළහ.
මෙම හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට සහාය වීම තමන්ගේ වගකීමක් බවයි. එසේම, ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව සිවරාජාගේ නිදහස වෙනුවෙන් දායක වූ සියලු දෙනාටත්, සවූදි අරාබි රජයටත් ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පුද කළේය.
මේ අතර, තම පුත්‍රයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සිවරාජාගේ මව්පියෝ ජනාධිපතිවරයා හමුවේ පැවසූහ.
තම පුතාව මරණ දණ්ඩනයෙන් මුදාගෙන, සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මුල සිටම මැදිහත් වීම පිළිබඳව සිවරාජාගේ මව ජනාධිපතිවරයාට ස්තූති කළාය. තවද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සව්දි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් සහ තානාපති කාර්යාල නිලධාරීන් වෙත ද ඇය සිය ස්තූතිය පුද කළාය.
එමෙන්ම, නීතිමය ආධාර ලබා දීම සඳහා සවූදි අරාබියට ගිය නීතිඥවරුන්ට සහ තම පුත්‍රයාගේ නිදහස වෙනුවෙන් හඬ නැගූ සියලුම ශ්‍රී ලංකා ජනතාවට ද ඇය ස්තූතිවන්ත වූවාය.
මෙම හමුවට එක් වූ සමාජ ක්‍රියාකාරී රාජ్කුමාර් රාජීව්කාන්ත් මහතා සඳහන් කළේ, තමන් මුල් වරට හමු වූ අවස්ථාවේදී දුන් පොරොන්දුව ඉටු කරමින් සිවරාජාගේ නඩුව වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තූති කරන බවයි. සව්දි අරාබියේදී බංග්ලාදේශ ජාතික යුවළකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ සිදුවීමෙන් පසු අනෝජ්ගේ මව්පියන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටි බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

