ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කරමින් ඊයේ ( 05) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ඇය ඉකුත් සැප්තැම්බර් 16 වනදා අලුයම සිය පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වන ඈන් ද ලිවේරා මහත්මිය සමඟ මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි. කෙසේ වෙතත්, ලිවේරා මහත්මිය සංචාරය අතරතුර දින කිහිපයකින් නැවත දිවයිනට පැමිණියාය.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයේ MH-179 දරන ගුවන් යානයෙන් ඔක්තෝබර් 05 වනදා රාත්‍රී 11.20 ට ශිරන්ති රාජපක්ෂ මහත්මිය කටුනායක වෙත ළඟා වී ඇත.
ගුවන් තොටුපොළෙන් පිටවීම සඳහා ඇය ඇමෙරිකානු ඩොලර් 216 ක මුදලක් ගෙවා විශේෂ අමුත්තන් උදෙසා වෙන් වූ “ගෝල්ඩ් රූට්” (Gold Route) පහසුකම භාවිත කර තිබේ. මෙම පහසුකම යටතේ සාමාන්‍ය ගුවන් මගීන් මගහැර ප්‍රමාදයකින් තොරව සෘජුවම මගී පර්යන්තය වෙත පැමිණීමට අවස්ථාව හිමිවේ. එහිදී ගමන් මලු ලබාදීම, ආගමන විගමන හා රේගු නිශ්කාශන කටයුතු සියල්ල අදාළ නිලධාරීන් විසින් එම විශේෂ පර්යන්තය තුළදීම සිදුකර දෙනු ලබයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට එළඹෙන ඔක්තෝබර් 13 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉකුත් සැප්තැම්බර් 16 වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි ඇය, ඊයේ (05) රාත්‍රියේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකින් නැවත දිවයිනට පැමිණියාය. ගුවන් තොටුපොළෙන් පිටවීම සඳහා ඇය විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති “ගෝල්ඩ් රූට්” (Gold Route) පහසුකම භාවිත කර ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට මෙලෙස දැනුම් දී ඇති අතර, මෙම සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කළාය.

