ශ්රී ලංකා විදුලි හා යාන්ත්රික ඉංජිනේරු රෙජිමේන්තුව (SLEME) විසින් සිදු කරන ලද අලුත්වැඩියා සහ ප්රතිසංස්කරණ කටයුතු හරහා ශ්රී ලංකා යුද්ධ හමුදාවට අයත් වාහන 53ක් ධාවන තත්ත්වයට සම්පූර්ණයෙන්ම පත් කර තිබේ.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ SLEME හි ප්රවීණ තාක්ෂණික ශිල්පීන් විසින් මෙම ප්රතිසංස්කරණ කටයුතු සිදු කර ඇත. විදුලි හා යාන්ත්රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ (DEME) අධීක්ෂණය යටතේ SLEME මූලික වැඩපළවල් පරිශ්රයන්හිදී මෙම අලුත්වැඩියා කටයුතු සිදු කෙරිණි.
අලුතින් වාහන මිලදී ගැනීමේ අවශ්යතාව අවම කිරීම මගින් මෙම ව්යාපෘතිය හරහා විශාල පිරිවැයක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව යුද්ධ හමුදාව ප්රකාශ කරයි.
මෙලෙස ප්රතිසංස්කරණය කරන ලද වාහන 53 කින් යුත් රථ පෙළ අදාළ හමුදා රෙජිමේන්තු නියෝජිතයන් වෙත නිල වශයෙන් භාරදීම යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (13) යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකදී සිදු විය.

