ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය නියෝජනය කරමින්, තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (10) රාවල්පින්ඩ් නුවරදී පැවැත්වීමට නියමිතය.
දිවා-රාත්‍රී තරගයක් ලෙස ක්‍රියාත්මක වන මෙම ගැටුම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
දෙරට අතර පවතින විස්සයි20 ක්‍රිකට් ඉතිහාසය දෙස බලන විට, 2007 වසරේ සිට මේ දක්වා තරග 30ක් පවත්වා ඇති අතර, එහිදී පාකිස්තානය තරග 18ක ජය හිමිකර ගනිද්දී, ශ්‍රී ලංකාව තරග 12ක් ජයග්‍රහණය කර ඇත. කෙසේ වෙතත්, පාකිස්තාන භූමියේදී පවත්වා ඇති තරග 7න් 4කම ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයකි.
මෙම තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, එහි මූලික පියවර ලෙස 30 හැවිරිදි ප්‍රහාරාත්මක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් එරට නව විස්සයි20 නායකයා ලෙස පත්කර ඇත. මීට පෙර කණ්ඩායම මෙහෙයවූ සල්මන් අලි අගා නායකත්වයෙන් ඉවත් කර ඇති අතර, ඔහු මෙවර සංචිතයටද ඇතුළත් කර නැත.
මෙම වසර මුලදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 383ක් රැස්කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ ෆර්හාන්, මෑතකදී නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ද පාකිස්තාන කණ්ඩායම රිදී පදක්කම කරා රැගෙන යාමට පුරෝගාමී විය.

