ශ්‍රී ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජයෙන් දැඩි කැපවීමක් – අග්‍රාමාත්‍යවරිය 26 වැනි SLEIS සමුළුවේදී පවසයි

0
10

ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණය භාවිත කරන රටක් පමණක් නොව, නවෝත්පාදන බිහි කරන දේශයක් බවට පරිවර්තනය කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පැවැති 26 වැනි ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ (SLEIS) 2026 සැසිවාරයට එක්වෙමිනි. මෙම වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ඇති බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සතුටින් යුතුව සඳහන් කළාය.

“ඩිජිටල් යුගයක ජාතිය ගොඩනැගීම” යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී, රටේ ආර්ථිකය නංවාලීම සඳහා ඩිජිටල් තාක්ෂණය උපායමාර්ගිකව යොදා ගන්නා ආකාරය පිළිබඳව ඇය පුළුල් ලෙස සාකච්ඡා කළාය. ඒ අනුව, 2030 වන විට මෙරට ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීම, ඩිජිටල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කිරීම සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 200,000කින් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම රජයේ ඉදිරි ඉලක්ක බව ඇය පැහැදිලි කළාය. රාජ්‍ය ආයතන නවීකරණය කිරීම සහ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ මූලික ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බවද සඳහන් කළාය.

මෙහිදී උදාහරණයක් ලෙස දැක්වූ රාජ්‍ය ආයතන 300කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් රුපියල් බිලියන 6කට වැඩි ගෙවීම් සිදු කර ඇති GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව, රාජ්‍ය ගනුදෙනු සරල කිරීමට සහ විනිවිදභාවය තහවුරු කිරීමට මහෝපකාරී වී තිබේ. තවද, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ප්‍රවාහනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර නවීකරණය කිරීම සඳහා තාක්ෂණය පුළුල් ලෙස දායක කරගත හැකි ආකාරය පිළිබඳව ද ඇය අදහස් දැක්වීය. ඩිජිටල් සෞඛ්‍ය පද්ධති සහ දුරස්ථ වෛද්‍ය සේවා (Telemedicine) හරහා සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම, දත්ත පදනම් කරගත් කෘෂිකාර්මික ක්‍රමවේද මඟින් ඵලදායිතාව සහ ජල කළමනාකරණය ශක්තිමත් කිරීම, ස්මාර්ට් විදුලි ජාල හරහා පුනර්ජනනීය බලශක්තියට පිවිසීම මෙන්ම ඩිජිටල් ප්‍රවේශපත්‍ර සහ රථවාහන කළමනාකරණ පද්ධති මඟින් මගීන්ගේ ගමනාගමන දුෂ්කරතා අවම කිරීම යන කරුණු කෙරෙහි ඇය විශේෂ අවධානය යොමු කළාය. සමාජයේ පවතින අසමානතා තවදුරටත් පුළුල් නොවන අයුරින්, පුරවැසියා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරමින් මෙම ඩිජිටල් පරිවර්තනය ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here