ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද

0
3

ශ්‍රී ලංකාව තුළ නියමුවන් රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාවක් හඳුන්වා දීමේ මූලික පියවරක් ලෙස, එහි පළමු නිල නිරූපණ අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ ‘EHang’ (යී හැන්ග්) සමාගම විසින් නිෂ්පාදිත, ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස් අතට ගුවන්ගත වීමට හා ගොඩබැසීමට හැකි (eVTOL) වර්ගයේ මගී ඩ්‍රෝන යානා යොදා ගනු ලබයි. මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි ‘E216’ වර්ගයේ ඩ්‍රෝන යානයක් මේ සඳහා මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේදී වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ චීන නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කටයුතු ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය මුල් අදියරේදී වාණිජ මට්ටමින් නොව, කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මාස හයක කාලයක් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ප්‍රචාලක 16කින්, බැටරි කට්ටල 12කින්, පියාසැරි පාලන පද්ධති තුනකින් සහ ඒකාබද්ධ පරිගණක පද්ධතියකින් සමන්විත මෙම යානය, මධ්‍යම පාලන මධ්‍යස්ථානයක් හරහා දුරස්ථව මෙහෙයවනු ලබයි. එමෙන්ම, හදිසි සන්නිවේදන බිඳවැටීමකදී ස්වයංක්‍රීයව ආරක්ෂිතව ක්‍රියාත්මක වීමේ නවීන තාක්ෂණික ආරක්ෂක යාන්ත්‍රණ ද මෙයට ඇතුළත්ය.

මෙම නවීන ප්‍රවාහන ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිසම සහ වරාය නගර ආර්ථික කොමිසම ඇතුළු ආයතන රැසක එකමුතුව හා සම්බන්ධීකරණය ලැබී ඇත. මගී ප්‍රවාහනයට අමතරව සංචාරක හා හදිසි සේවා සඳහා ද සහාය කරගත හැකි මෙම තාක්ෂණය ඔස්සේ, අනාගතයේදී සීගිරිය, පිදුරංගල සහ දූපත් ආශ්‍රිත සංචාරක කලාප වෙත සංචාරකයින් ගුවනින් ප්‍රවාහනය කිරීමේ නව මාවත් විවෘත කර ගැනීමට අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here