ශ්‍රී ලංකාවේ දිළිඳුකම සහ මන්දපෝෂණය තවමත් උග්‍ර මට්ටමක

0
16

පසුගිය කාලයේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන් මන්දපෝෂණයට සහ මිටිභාවයට ගොදුරුවීමේ ප්‍රතිශතය තවමත් ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව පෙන්වා දෙයි. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද ‘From Recovery to Transformation’ (ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම) නැමැති නවතම වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

එම වාර්තාවට අනුව, 2023 වසරේදී 20.7%ක් ලෙස ඉහළ අගයක පැවැති දිළිඳුකම 2025 වසර වන විට 16.9% දක්වා අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. කෙසේ වෙතත්, එය 2019 වසරේ පැවැති 11.5%ක අගයට වඩා තවමත් ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි. එපමණක් නොව, මෙරට සේවකයන්ගේ තාත්වික වේතන තවමත් 2019 වසරට පෙර පැවැති මට්ටමට වඩා 12%කින් පහළ බැස ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ආර්ථිකයේ ක්ෂණික පිබිදීම මන්දගාමී වීම මෙන්ම ප්‍රවාහන හා නිෂ්පාදන ක්ෂේත්‍රවල පවතින දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී මෙරට ආර්ථික වර්ධනය 4.2% දක්වා පහත වැටෙනු ඇතැයිද ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

ලෝක බැංකු වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2026 වසර වන විට ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 40ක් දිළිඳු හෝ දිළිඳු රේඛාවට ආසන්නව ජීවත් වන බවයි. යම් ලෙසකින් ජනතාවගේ තාත්වික ආදායම තවදුරටත් පහත වැටුණහොත් විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවලට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here