කළුතර නාගොඩ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරියකට හිජබය පැළඳ පැමිණීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ගැන Newsnow අද(08) පෙරවරුවේ එම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකාව වන වෛද්‍ය මධුභාෂිනි කරුණාරත්න මහත්මියගෙන් විමසීමක් කළෙමු.
රජය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය ප්‍රකාරව තමන් වැඩ කරන බවයි. එහි සඳහන් නිල ඇඳුමට පිටින් කිසිදු අමතර දෙයක් පැළදීම තමන් අනුමත නොකරන බවත් ඇය සඳහන් කළාය. රජය විසින් නිල ඇඳුම් දීමනාවක් ලබා දෙන බවත් එලෙස ලබා දෙන්නේ සෑම දෙනාම එකම නිල ඇඳුමක් ඇදිය යුතු නිසා බවයි. අද නිල ඇඳුමෙන් පිට යම් අමතර පළිදින ඇඳුමකට අවසර දුන හොත් හෙට දවසේ තවත් නිලධාරීන් වෙන වෙන අමතර ඇඳුම් ඇදීමට අවසර ඉල්ලා සිටීමට හැකිවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂිකාව පැවසුවාය.
එවිට අප ප්‍රශ්න කර සිටියේ වසර 9කට වැඩි කාලයක් කොළඹ මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරියක ලෙස හිජාබය පැළඳ සේවය කර ඇති මෙම නිලධාරිනියට එහිදී කිසිදු ප්‍රශ්නයක් ඇති නොවුණත් ස්ථාන මාරුවීම ලබා නාගොඩ රෝහලට පැමිණීමෙන් පසු මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව කුමක්ද යන්නයි.
එවිට වෛද්‍ය මධුභාෂිනි කරුණාරත්න මහත්මිය පැවසුවේ එම රෝහලේ ඇය කෙසේ සේවය කළත් තමන් මෙහිදී කටයුතු කළේ රෝහල් අධ්‍යක්ෂිකාව ලෙස චක්‍ර ලේඛයට අනුව නිල ඇඳුම ඇඳීමට ඇයට උපදෙස් දීම බවයි. නමුත් ඇය එම රෝහලේම මේ වනවිට සේවය කරන බව රෝහල් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.

