වෛරසය ආසාදනය වූ බවට සැක පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට

0
132

(NEWS NOW | COLOMBO) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිත බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

අද සහ සහ හෙට යන දෙදින තුළ එම පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා  සඳහන් කළේ.

පරීක්ෂණ කටයුතු සඳහා යොමු කළ පුද්ගලයින් 14 දෙනෙකුටම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළේය.

මෙරටින් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ පසුගියදා අංගොඩ බෝවන රෝග පිළිබඳ විද්‍යායතනයට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව පමණක් වන අතර ඇයගේ රෝගී තත්ත්වය ද මේ වන විට යහපත් බව වාර්තා වෙයි.

මේ අතර චීනයෙන් හදුනාගත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලොව පුරා රටවල් 22කින් මේ වන විට වාර්තා වී තිබේ.

ඊයේ දිනය වන විට ඉන්දියාව, පිලිපීනය, ෆින්ලන්තය යන රටවලින් පළමු වරට රෝගීන් හඳුනාගෙන තිබූ අතර අද දිනය වන විට ඉතාලියෙන් ද එක් ආසාදිතයෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 9800 ඉක්මවා ඇති අතර ඉන් 9652 දෙනෙකුම චීනයෙන් වාර්තා වීම විශේෂත්වයකි.

වෛරසය හේතුවෙන් සිදුවූ 213 ක් වන සියලුම මරණ ද චීනයෙන් වාර්තා වී තිබේ.

චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස ව්‍යාප්තිය මේ වන විට මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ සිදුවීම් කිහිපයක් අමෙරිකාව, ජර්මනිය, ජපානය සහ වියට්නාමය යන රටවලින් හඳුනාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.