විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ (UNGA) රාජ්‍ය නායක හා අමාත්‍ය මට්ටමේ විවාදය ඇමතීමට නියමිතව තිබේ. අමාත්‍යවරයා සැප්තැම්බර් 28 වනදා මෙම විශේෂ අමතීම සිදු කිරීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මහා මණ්ඩල සැසියේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික සතිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරයා සැප්තැම්බර් 26 වනදා නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇත. එහිදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා සහ ප්‍රධාන ජාත්‍යන්තර කරුණු පිළිබඳ රටේ ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යවරයා ජාතික ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර, විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙවර 81 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය “විශ්වාසය නැවත ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” (Restoring Trust, Managing Transformation: A United Nations That Delivers for All) තේමාව යටතේ පැවැත්වේ. මෙහි ප්‍රධාන විවාදය සැප්තැම්බර් 22 සිට 26 දක්වා සහ සැප්තැම්බර් 28 වනදා අතිරේක සැසියක් ලෙසත් පැවැත්වේ.
ජාත්‍යන්තර සන්සුන්භාවය සහ ආරක්ෂාව, තිරසාර සංවර්ධනය, කාලගුණ විපර්යාස, න්‍යෂ්ටික විරෝධී වැඩසටහන්, කෘත්‍රිම බුද්ධිය (AI) සහ බහුපාර්ශ්වික පද්ධතිවල ප්‍රතිසංස්කරණ මෙවර සැසියේන් අවධානය යොමුවන ප්‍රධාන මාතෘකා අතර වේ. මෙම සහභාගීත්වය හරහා ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා ලෝක සභාව හමුවේ තැබීමටත්, ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව හිමිවේ.

