වසරක සිරදඬුවමක් විඳීමෙන් පසු මාලදිවයිනේදී ශ්‍රී ලාංකිකයෙකු නිදොස් කොට නිදහස් කෙරේ

0
17

කිලෝග්‍රෑම් දෙකකට වැඩි රන් ප්‍රමාණයක් මාලදිවයිනට ජාවාරම් කළ බවට චෝදනා ලබා වසරක සිරදඬුවමක් සම්පූර්ණ කළ ශ්‍රී ලාංකිකයෙකු මාලදිවයින් මහාධිකරණය (High Court) විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

මාලදිවයින් මාධ්‍ය වාර්තාවලට අනුව, මොහොමඩ් සුලයිමාන් (Mohamed Sulaimhan) නමැති මෙම ශ්‍රී ලාංකිකයාට 2025 ඔක්තෝබර් 28 වන දින අපරාධ අධිකරණය මගින් වසරක සිරදඬුවමක් නියම කරන ලදී. එම දඬුවම නියම කර හරියටම වසරක් පිරෙන 2026 ඔක්තෝබර් 28 වන දින මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙමින් ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත.

2023 සැප්තැම්බර් 21 වන දින ඩුබායි සිට එමිරේට්ස් (Emirates) ගුවන් යානයකින් මාලදිවයිනේ වේලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළට (Velana International Airport) පැමිණි සුලයිමාන්, කොළ පැහැති නාලිකාව (Green Channel) ඔස්සේ පිටතට යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී ඔහු ඇඳ සිටි ජීන්ස් කලිසම් සාක්කුවල සහ යට ඇඳුම් තුළ සඟවා තිබූ ග්‍රෑම් 2,282 ක බරින් යුත් රන් පේස්ට් (Gold Paste) තොගයක් සොයාගන්නා ලදී. ඉන් අනතුරුව මාලදිවයින් රේගු පනතේ 97(a) වගන්තිය යටතේ භාණ්ඩ ජාවාරම් කිරීමේ චෝදනාව මත ඔහුට වසරක සිරදඬුවමක් නියම විය.

කෙසේ වෙතත්, අදාළ චෝදනාව මගින් ජාවාරම් කිරීමේ වරදක් සනාථ කිරීමට අවශ්‍ය නීතිමය පදනම සපයා නොමැති බව මාලදිවයින් මහාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.

අදාළ රන් තොගය තහනම් භාණ්ඩයක් හෝ රේගු බද්දට යටත් වන භාණ්ඩයක් නොවන බව පැමිණිලි පාර්ශ්වය විසින්ද පිළිගෙන ඇති බව අධිකරණය පෙන්වා දුන්නේය. ප්‍රකාශ නොකළ රන් ප්‍රමාණයක් අවසර නැති භාණ්ඩයක් ලෙස සැලකිය හැකිය යන රජයේ තර්කය ප්‍රතික්ෂේප කළ අධිකරණය, යම් ක්‍රියාවක් නීතියෙන් පැහැදිලිවම වරදක් ලෙස නිර්වචනය කර නොමැති නම් එය අපරාධයක් ලෙස සැලකිය නොහැකි බව අවධාරණය කළේය.

අපරාධ අධිකරණය ලබා දී තිබූ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට පටහැණි බව නිගමනය කළ විනිසුරු මොහොමඩ් ෂනීස්, විනිසුරු හුසේන් මසීද් සහ විනිසුරු හුසෙයිෆා මොහොමඩ්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අදාළ වරදකරු කිරීමේ තීන්දුව බලරහිත කරන ලදී.

මෙම තීන්දුව ලැබෙන විටත් අදාළ ශ්‍රී ලාංකිකයා යටත් අධිකරණය මගින් නියම කරන ලද වසරක සිරදඬුවම සම්පූර්ණයෙන්ම විඳ අවසන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here