රුසියාවත් අද ශෝක වෙයි

0
169
NEWSNOW | – පුද්ගලයින් 133 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ රඟහලකට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් අද (24) දිනය තුළ රුසියාවට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, රුසියාව පුරා සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක පිහිටි රුසියානු තානාපති කාර්යාල ඉදිරිපිටට පැමිණි පිරිස් ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර උපහාර දැක්වීමට කටයුතු කර තිබුණි.
රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්‍රෝකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් 133 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රඟහල තුළ සිට ඇති පිරිස 6,200කට අධිකය.
දශක දෙකකට පසු රුසියාවෙන් වාර්තා වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය මෙය වන අතර එහි වගකීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS සංවිධානය භාරගෙන තිබුණි.
ප්‍රහාරකයින් වෙඩිතබමින් නගර ශාලාවට ඇතුළු වී ප්‍රහාරය එල්ල කළ ආකාරය දැක්වෙන වීඩියෝවක්ද IS සංවිධානය පසුව නිකුත් කර තිබුණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, රඟහල තුළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් සිව්දෙනා ද ඒ අතරට අයත්ය.
මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගණන 140 ඉක්මවා තිබුණි.
තුවාලකරුවන් සඳහා රුධිරය පරිත්‍යාග කිරීමට රුසියානු ජනතාව පෙළගැසී සිටික ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
සැකකරුවන් යුක්‍රේනය දෙසට පළායමින් සිටි බවට අනාවරණය කළ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, වගකිව යුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන බවට අවධාරණය කළේය.
එමෙන්ම අද දිනය එරටට ජාතික ශෝක දිනයක් ලෙස ද නම් කර තිබුණි.