රාජ්‍ය සේවකයින්ට ලබා දෙන දුම්රිය ‘වරන්ට’ ක්‍රමයේ වෙනසක්

0
785

NEWSNOW| –   රාජ්‍ය සේවකයන් සදහා දුම්රිය ආසන වෙන්කරගැනීමේ බලපත්‍ර (වරන්ට්) ලබාදීම සියයට අසූවකින් අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කරයි.

මේ අනුව රාජ්‍ය සේවා බලපත්‍ර සියයට විස්සක් දුම්රිය කවුන්ටර්වලින් ලබාදීමත් සියයට අසූවක් මාර්ග ගතව වෙන්කිරීමත් සිදුකරන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

මීට අමතරව රාජ්‍ය සේවකයකු වරන්ට් මගින් වෙන්කර ගන්නා සෑම ආසනයක් සඳහාම වෙන්කරගනු ලබන රාජ්‍ය සේවකයාගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන්  5% මුදලක් අය කරගැනීමට ද ප්‍රවාහන අමාත්‍යංශය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත උපදෙස් දී ඇත.

මේ සදහා පිඹුරුපත් සකස් කර තිබෙන බවත් මෙය රාජ්‍ය සේවකයන් සඳහා ලබාදී ඇති සහන කප්පාදු කිරීමක් බවත් මීට තම සංගමය දැඩි විරෝධයක් පළකර සිටින බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

දුම්රිය ආසන මාර්ගගතව සිදුකිරීමේදී පවා බොහෝ මගීන් පිරිසකට අපහසුතාවකට ලක්වීමට සිදුව තිබෙන බව ද රාජ්‍ය සේවකයන්ට නිදහසේ දුම්රිය ස්ථානයකට ගොස් ආසන වෙන්කර ගැනීමේ හැකියාවද මෙමගින් අඩාල වනු ඇති බව ද සභාපතිවරයා පැවසීය.