ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (27) රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කිරීමෙන් අනතුරුව, සිව් මහා දේවාල පෙරහැර කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොටුපොළ වෙත ගොස් චාරිත්‍රානුකූල දිය කැපීමේ මංගල්‍යය අද (28) උදෑසන සිදු කරන ලදී.
අනතුරුව මහනුවර ගණදෙවි කෝවිල හරහා ගෙඩිගේ රාජමහා විහාරය වෙත පැමිණි පෙරහැර අද පස්වරු 2:18 ට උතුරු දිශාමුඛව පිටත්ව ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය සහ රජවීදිය ඔස්සේ දළදා මාලිගා චතුරස්‍රය තෙවරක් ප්‍රදක්ෂිණා කර සවස 4:01 ට දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
පෙරහැර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේතුමන් ඇතුළු බස්නායක නිලමේවරුන් ජනාධිපති මන්දිරය වෙත ගොස් ඇසළ පෙරහැර සාර්ථකව නිම කළ බවට වන සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් සහ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වනු ඇත.

