පිළිකා රෝගීන්ගේ ජීවිතාරක්ෂක එන්නත් 160,000ක් ගබඩාවල සිරවෙයි

0
8

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර හටගෙන ඇති ආයතනික සම්බන්ධීකරණ ගැටලුවක් මුල් කරගනිමින්, පිළිකා රෝගීන් උදෙසා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක එන්නත් 160,000 ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකක ගබඩාවල සිරවී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අදාළ එන්නතේ ඇසුරුම, ඉදිරිපස ලේබලය, නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින මෙන්ම ගුණාත්මකභාවය නිවැරදිව පවතිද්දීත්, ලේබලයේ පිටුපස ඇති පරිපාලනමය මට්ටමේ අඩුපාඩුවක් හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මෙම තොගය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

‘කීමෝතෙරපි’ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මසකට රෝගීන් 25,000 කට ආසන්න පිරිසකට අත්‍යවශ්‍ය වන රුපියල් 900 ක් වටිනා මෙම එන්නත, මේ වන විට රුපියල් 25,000 කට අධික කළුකඩ මිලකටවත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම එන්නත් තොගය නැවත ලේබල් කිරීම සඳහා යැවුවහොත් එය මෙරටට ලැබීමට අවම වශයෙන් මාස 3 ක් ගතවන අතර, එමගින් ඉදිරි කාලයේදී පිළිකා රෝගීන් 75,000 ක් පමණ දැඩි ජීවිත අවදානමකට ලක්වීමට ඉඩ ඇත. එම නිසා ජාතික මට්ටමේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම මැදිහත් වී සෞඛ්‍ය නිලධාරීන්, පිළිකා රෝග සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥයන් සමග සාකච්ඡා කර මෙම එන්නත් තොගය රෝගීන් වෙත නිසි පරිදි ලබාදීමට පියවර ගත යුතු බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here