බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (21) දිනයේදී පීඩන අවපාතයක් දක්වාත්, හෙට දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය වී සැප්තැම්බර් 23 වනදා පමණ වන විට උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතිය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 55-65 දක්වාත්, ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 දක්වාත් ඉහළ යා හැකි අතර මුහුද ඉතා රළු විය හැකිය.
එම නිසා නැවත දැනුම් දෙනතුරු අදාළ ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනට රැඳී සිටින යාත්‍රා වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසත් දැනුම් දෙයි.

