බෙංගාල බොක්කේ “ඔර්නබ්” සුළි කුණාටුව සහ දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ නවතම දැනුම්දීම

0
14

බෙංගාල බොක්කේ බටහිර – මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව හටගත් “ඔර්නබ්” (Aab) ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්ව තිබේ. අද (27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක පමණ ඊසාන දෙසින් මෙය කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම කුණාටුව අද දින පස්වරු 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට වැඩි ඉඩකඩක් පවතියි. ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා එය ඉන්දීය ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එය වෙත ඇදී යන සුළං ප්‍රවාහයක් දිවයින හරහා ක්‍රියාත්මක වීම හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිය. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක් තද වැසි ද ඇති විය හැක. එසේම, නැගෙනහිර පළාතේ පස්වරු 1.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here