පොලිසියටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක කරයි

0
116
NEWSNOW | – කන්තලේ භාරතී පුරම් පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනෙකු වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කරයි.
ඒ මීට වසර 26කට පෙර කන්තලේ භාරතී පුරම් ගම්මානයේ පදිංචි නිරායුධ දෙමළ වැසියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවය.
උතුරු මැද පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වත්මන් කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එම විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනාට බරපතළ වැඩසහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ, කන්තලේ පොලිස් කොට්ඨාශයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බංඩාර, උප පොලිස් පරික්ෂක ජී.එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරු වන චන්ද්‍රරත්න බංඩාර, කේ. එම්. නිහාල් ප්‍රේමතිලක සහ ආර්. ආර්. සෝමරත්න බංඩාර මැදිවෙල, යන විත්තිකරුවන්ටය.
මනුෂ්‍ය ඝාතනයන් සිදුකිරීමේ අදහසින් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස සිටිමින් 1998 වසරේ ජනවාරි මස 31 දින හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බලප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි.
අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ විත්ති කූඩුවේ සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් එම ස්ථානයේ ඇඳ වැටී ඇති අතර, පසුව ඔහුව ගිලන්රථයකින් අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමට පොලිස්, බන්ධනාගාර සහ අධිකරණ නිලධාරීන් කටයුතු කලහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here