පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙයි

0
4

බොදු ගී ඇතුළු අර්ථාන්විත ගීත නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගේය පද රචක, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපති ධුරය හෙබවූ වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

දීර්ඝ කාලයක් පුරා පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ ඊයේ (18) අපවත් වන විට 76 වන වියෙහි පසුවූහ.

1950 මැයි 22 වනදා දෙනියාය, රඹුකන ගම්මානයේදී ජනිත වූ උන්වහන්සේ, මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් සහ පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්හ. ඉන් අනතුරුව තමන්ටම ආවේණික වූ මෘදු, සුගම පද රටාවකින් ජන හදවත් තුළ බෞද්ධ සහ මානව භක්තිය ජනිත කරවීමට උන්වහන්සේගේ පන්හිඳ සමත් විය.

ගුණදාස කපුගේ මහතා ගායනා කළ ‘පිහිටක් නැති සරණක් නැති’, ‘සද්ධර්ම මකරන්ද’ මෙන්ම වික්ටර් රත්නායකයන් ගැයූ ‘බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති’, ‘කාසිවලට ගන්නත් බැහැ’ වැනි කාලාන්තරයක් පුරා ජනප්‍රිය වූ බෞද්ධ ගීත රැසක් උන්වහන්සේ අතින් නිර්මාණය විය.

එසේම, විශාරද මාලිනී බුලත්සිංහලයන් ගායනා කළ ‘හිමි සණරාමර’, ‘පිපෙනා මලකට’, ‘සෙනෙහස පුදා’, ‘බුදු බණ ඇසුවා’ ඇතුළු ගීත මෙන්ම කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන ‘ලා දළු බෝපත්’, ‘වෙහෙරක් වගේ’ වැනි සුප්‍රකට ගීත රැසක ද ගේය පද රචකයාණන් වූයේ උන්වහන්සේය.

බෞද්ධ ගීතවලට පමණක් සීමා නොවූ උන්වහන්සේ ‘පන්සලේ පල්ලියේ’, ‘බණ කියන රටක්’, ‘මේ ප්‍රේම කතා නවතා මොහොතක්’, ‘මේ ඉර හඳ යට’, ‘සියක් ආයු ලැබ’, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්නේ’, ‘අනුරාධපුරේ අනුරාව නැගූ’ සහ ‘සඳ තරු මල් මට දන් දුන්’ වැනි විවිධ තේමා රැගත් මානව භක්තිය සහ ආදරය තේමා කරගත් ගීත රැසක් ද දැයට දායාද කළහ.

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සහ වේලාව පසුව දැනුම්දීමට නියමිත බව ඥාතීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here