
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, ඊට අදාළ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) පියවර ගත්තේය.
2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
ඉන් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කළ විනිසුරු මඩුල්ල, චෝදනාවලින් නිදහස් වූ සෙසු විත්තිකරුවන් 09 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනා සඳහා වන දඬුවම් නියම කිරීමද අද දිනයේම සිදුකිරීමට නියමිතය.
මෙලෙස වරදරකරුවන් බවට පත් කරනු ලැබුවේ මෙම නඩුවේ 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 15, 16, 18, සහ 19 යන විත්තිකරුවන් වේ.
එසේම මෙහි 10 වැනි විත්තිකරු 16 වැනි චෝදනාවෙන් පමණක් නිදෙස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.
එමෙන්ම, සියළුම චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවට තීරණය කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් 09 දෙනකු නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මෙම නඩුවේ 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන් වේ.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් විසින් මෙම නඩු තීන්දුව ලබා දෙන ලදී.
