පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට නඩු 4කට ඇප. තවත් නඩුවකට නොවැම්බර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

0
10

අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද පැමිණිලි 4කට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) නියෝග කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙන්ම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, අදාළ නඩු 4න් එක් එක් නඩුව සඳහා සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කෙරිණි. එම නඩු යළි එළඹෙන ජනවාරි මස 26 වන දින කැඳවීමට නියමිතය.

කෙසේ වෙතත්, පොස්පේට් අපනයන බලපත්‍ර ලබා දීම සඳහා පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව ඔවුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව, එම චෝදනාව යටතේ සැකකරුවන් දෙදෙනා නොවැම්බර් මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here