නැගීඑන ජාතීන්ගේ කාන්තා විස්සයි20 ශූරතාව අපරාජිතවම ශ්‍රී ලංකාවට

0
4

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධාන කළ නැගීඑන ජාතීන්ගේ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් ශූරතාව අපරාජිතවම දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25) සමත් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ ප්‍රබල පීඩනය හමුවේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 96ක් පමණි. එහිදී අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය වූ ඇලනා ඩැල්සෙල් පන්දු 25කදී හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් රැස් කළ අතර සෙසු පිතිකාරිනියන්ට ලකුණු අතරට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබා දුන්නේ නැත.

ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 12.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් රැස් කරමින් පහසු ජයක් වාර්තා කළහ. ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඉමේෂා දුලානි වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 25කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තාය. ඇයට අනගි සහායක් ලබා දුන් ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි ලකුණු 22ක් රැස් කළාය.

ස්කොට්ලන්තය, පාකිස්තානය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව් ගිනියාව සහ තායිලන්තය යන රටවල කණ්ඩායම් ද මෙම තරගාවලිය සඳහා එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here