ධවල මන්දිරයේදී ප්‍රමුඛ පෙළේ තාක්ෂණික හා කෘත්‍රිම බුද්ධි (AI) විධායකයින් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගූගල් (Google) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි (Sundar Pichai) මහතාව මාධ්‍යවේදීන්ට හඳුන්වා දෙමින් විනෝදයෙන් මෙන් ඔහු “රාක්ෂයෙක්” (Monster) ලෙස හඳුන්වා දී තිබේ.
අඟහරුවාදා (29) පැවැති මෙම සාකච්ඡාවෙන් පසු ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මහජනතාව අතර එතරම් ප්‍රසිද්ධ නැතත් සුන්දර් පිචායි යනු තාක්ෂණික ක්ෂේත්‍රයේ “රාක්ෂයෙක්” වැනි ප්‍රබලයෙක් බව සඳහන් කළේය. එහිදී ට්‍රම්ප් ඔහුගේ නම නැවත නැවතත් පවසමින් “සුන්දර්” යන නම මතක තබා ගන්නා ලෙස මාධ්‍යවේදීන්ට පැවසීය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට සිනාමුසු මුහුණින් ප්‍රතිචාර දැක්වූ සුන්දර් පිචායි, “මම රාක්ෂයෙක් කියනවාට වඩා හොඳ හඳුන්වාදීමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා තිබේ. මෙම හාස්‍යජනක සිදුවීම එම අවස්ථාවට එක්ව සිටි පිරිසගේ සිනහවට හේතු වූ අතර, මේ වන විට සමාජ මාධ්‍ය තුළද දැඩි අවධානයක් දිනාගෙන ඇත.
මෙම හමුව සඳහා Meta සමාගමේ මාක් සකර්බර්ග් (Mark Zuckerberg), Anthropic හි ඩාරියෝ අමෝඩෙයි (Dario Amodei), Nvidia හි ජෙන්සන් හුවැන්ග් (Jensen Huang) සහ OpenAI හි ග්‍රෙග් බ්‍රොක්මන් (Greg Brockman) ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෝ රැසක් එක්ව සිටියහ.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ආරක්ෂාව සහ උසස් AI පද්ධති සංවර්ධනය සඳහා වූ ස්වේච්ඡා ප්‍රමිතීන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. එහිදී අභ්‍යන්තර පාලනයන් සහ ස්වාධීන විගණන ඇතුළත් ස්වේච්ඡා ක්‍රියාමාර්ග සඳහා තාක්ෂණික සමාගම් එකඟ වූ බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
මූල්‍ය පාලනයන් වැනි අනෙකුත් ආයතනික කළමනාකරණ ක්ෂේත්‍රයන්හි භාවිත වන ක්‍රමවේදයන්ට සමානව, උසස් AI පද්ධති සංවර්ධනය සඳහාද අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් අනුගමනය කරන බව ගූගල් ප්‍රධානී සුන්දර් පිචායි මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

