දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇදහැලෙනු ඇත.
මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැ.කි.මී. 40-50 දක්වා තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු සහ තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

