ජාතික මස්ජිද් භාරකාර මාර්ගෝපදේශන වැඩසටහන අකුරණදී සාර්ථකව පැවැත්වේ

0
3

ශ්‍රී ලංකා වක්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව, අකුරණ මස්ජිද් සම්මේලනය සහ අකුරණ අස්නා ජුම්මා මස්ජිදයේ දායකත්වයෙන් සංවිධානය කළ “ජාතික මස්ජිද් භාරකාර මාර්ගෝපදේශන වැඩසටහන” (National Masjid Trustee Guidance Program) ඊයේ දින (2026 සැප්තැම්බර් 20) අකුරණ අස්නා ජුම්මා පල්ලියේදී සාර්ථකව පැවැත්විණි.

මස්ජිද් පරිපාලනය ශක්තිමත් කිරීම සහ මස්ජිදය ජනතාවට ප්‍රියජනක, යහමග පෙන්වන ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම විශේෂ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆාර් මහතා සහභාගී වූ අතර, ආරාධිත අමුත්තා ලෙස අකුරණ සහ පූජාපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා සහභාගී විය. අංශ කිහිපයකින් සමන්විතව පැවැති මෙම වැඩසටහනට වක්ෆ් සභාවේ සභාපති මර්ෂඩ් බාරි, නීතිඥ එම්.එල්.ඉසඩ්. මසූදීන්, නීතිඥ එම්.අයි. අමීනුදීන්, ඒ.එම්.ජේ.එම්. ජව්ෆර්, එම්.ඒ.එම්. අරූස්, අෂ්ෂෙයික් එම්.එස්.එම්. ඉහ්සාන්, රිෆාක් අහමඩ් යන වක්ෆ් සභා සාමාජිකයින්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අකුරණ මස්ජිද් සම්මේලනයේ සභාපති අෂ්ෂෙයික් ෂියාම් (යුසුෆි) මහතා ඇතුළු සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

අකුරණ සහ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි මස්ජිද් 110 කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මෙම විශේෂ වැඩමුළුව සඳහා එම සියලු මස්ජිද්වල දායක සභාවල සාමාජිකයින් 800 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, එහිදී වක්ෆ් පනතේ සඳහන් කරුණු ඇතුළත් කෙටි සාරාංශ සහිත දැන්වීම් පුවරු මස්ජිද්වල පැමිණෙන ජනතාවගේ අවබෝධය උදෙසා සංකේතාත්මකව මස්ජිද් දායක සභා හතරක් වෙත ලබාදෙමින් වැඩසටහන සාර්ථක ලෙස නිමා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here