දිවයින පුරා ඇදහැලුණු වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් සිදුවීමත් සමග දැනට කිසිදු ප්‍රදේශයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා අද (11) පෙරවරුවේ සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 20කට ආසන්න අගයක් කළුගඟ සහ මහවැලි ගංගා ඉහළ ධ්‍රෝණි ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.
ඊයේ දිනයේදී ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර, වයඹ, සබරගමුව ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවලට ලැබී ඇත්තේ මිලිමීටර් 10ට අඩු අඩු වර්ෂාපතනයකි.
වර්ෂාපතනය මෙලෙස පහළ යාම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුව නොමැති අතර, එමගින් ගංවතුර අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් තහවුරු කළේය.

