හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි දිනුක සඳරුවන්ගේ හදවත, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 14 හැවිරිදි පිරිමි දරුවෙකුට සාර්ථකව බද්ධ කිරීමට විශේෂඥ හෘද හා උරස් කුහර ශල්‍ය වෛද්‍ය අනිල් අබේවික්‍රම ඇතුළු වෛද්‍ය කණ්ඩායම සමත් විය. මෙරට සිදුකළ තුන්වැනි සාර්ථක හදවත් බද්ධ කිරීමේ සැත්කම වන මෙය, අවයව පරිත්‍යාගයකට එහා ගිය මනුෂ්‍යත්වයේ සහ වෛද්‍ය කැපවීමේ සංවේදී පුවතකි.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුක, මීට මාසයකට පමණ පෙර රූපවාහිනියේ විකාශය වූ වකුගඩුවක් අවශ්‍ය බවට පළ වූ දැන්වීමක් දැක තමන්ට ද වකුගඩුවක් පරිත්‍යාග කළ හැකිදැයි පියාගෙන් විමසා තිබේ.
“හදිසියේ හරි කවද හරි මොනවා හරි වුණොත් තාත්තේ මම මගේ වකුගඩු දෙක කාට හරි දන් දෙනවා කිව්වා. ඒක අපේ ඔළුවේ තිබ්බනේ. මටයි මගේ නෝනටයි මතක් වුණා අපි මේ අවයව ටික දෙමු කියලා.”
තම ආදරණීය පුත්‍රයාගේ වියෝවෙන් දැඩි ශෝකයට පත්ව සිටියද, ඔහු ප්‍රකාශ කළ එම උතුම් අදහස ඉටු කරමින් තවත් ජීවිත කිහිපයකට ජීවත්වීමේ බලාපොරොත්තුව ලබා දීමට දිනුකගේ මව්පියන් තීරණය කළහ.
පසුගිය 26 වැනිදා ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හදවත රැගෙන ඒමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් සූදානම් කර තිබුණද, අයහපත් කාලගුණය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. පසුව පොලිසියේ සහාය ඇතිව ගිලන් රථයකින් විනාඩි 45ක් වැනි කෙටි කාලයක් තුළ එය කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එන ලදී.
විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්රමගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායම පැය හතකට අධික කාලයක් සිදුකළ සංකීර්ණ සැත්කමකින් අනතුරුව දිනුකගේ හදවත 14 හැවිරිදි දරුවාට බද්ධ කිරීමට සමත් වූ අතර, එම දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම සැත්කමට නායකත්වය දුන් විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම, මෙරට පළමු සාර්ථක හදවත් බද්ධ කිරීමේ සැත්කමට ද නායකත්වය දුන් සහ ශ්‍රී ලංකාවේ හදවත් බද්ධ කිරීමේ ඒකකය ආරම්භ කිරීමට පුරෝගාමී වූ වෛද්‍යවරයෙකි. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සහ රුහුණු විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එංගලන්තයේ රාජකීය ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ සාමාජිකත්වය ලබා 2011 දී හෘද හා උරස් කුහර ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු ලෙස සුදුසුකම් ලැබීය. 2013 සහ 2014 වසරවල එංගලන්තයේ නිව්කාසල්හි ෆ්රීමන් රෝහලේදී හදවත් සහ පෙනහළු බද්ධ කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ ඔහු, එහි රැඳී සිටින ලෙස කළ ඉල්ලීම් සහ ඉහළ වැටුප් වරප්‍රසාද අතහැර මව්රටේ රෝගීන් වෙනුවෙන් සේවය කිරීමට යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
විදෙස් රටකට ගොස් විශාල මුදලක් වැය කර සිදුකිරීමට සිදුවූ මෙවැනි සංකීර්ණ සැත්කම් අද මෙරට රජයේ රෝහල් තුළදීම සිදුකර ගැනීමට හැකිවීම, ඔහු ඇතුළු වෛද්‍ය කණ්ඩායම්වල කැපවීමේ ප්රතිඵලයකි.
තම ජීවිතයෙන් සමුගනිද්දීත් අන් ජීවිතවලට සුවය ප්‍රාර්ථනා කළ දිනුකගේ සිහිනය, එය සැබෑ කළ මව්පියන්ගේ උතුම් පරිත්‍යාගය සහ ඊට වෛද්‍ය නිපුණතාව එක් කළ වෛද්‍ය කණ්ඩායමේ කැපවීම සමාජයට මහඟු ආදර්ශයකි. තවත් දරුවෙකුට අලුත් ජීවිතයක් තිළිණ කර සමුගත් දිනුක සඳරුවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සිදුකිරීමට නියමිතය.

