ඉන්දියානු භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂ නියෝජිත පිරිස, භාරතීය ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ප්‍රධාන ලේකම් බී. එල්. සන්තෝෂ් (B. L. Santhosh) මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.
සඳුදා (28) දින පැවැති මෙම හමුවේදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු:
භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය, සංවිධානාත්මක ව්‍යුහය සහ ග්‍රාමීය මට්ටම දක්වා සාමාජිකත්වය සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණු නියෝජිත පිරිස වෙත මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාවේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳවද අදහස් හුවමාරු වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා හා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමේ පියවරක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණ සහ භාරතීය ජනතා පක්ෂය අතර පවතින මිත්‍රත්වය හා එකිනෙකා පිළිබඳ අවබෝධය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
මීට අමතරව, මෙම සංචාරයට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණු නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපතිනි රූප්කුමාරි චෞධරි (Rupkumari Chaudhary) මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා ඇත.
එමෙන්ම, BJP තරුණ සංවිධානයේ නියෝජිතයන් වන විනීත් වත්ස් ත්‍යාගි (Vineet Vats Tyagi) සහ භක්ති ශර්මා (Bhakti Sharma) යන මහත්වරුන් සමඟද වෙනම සාකච්ඡා පවත්වා තිබේ.

