ප්රංශ ජාතික පාපන්දු ක්රීඩක කිලියන් එම්බාපේ (Kylian Mbappé) මෑතකදී සිදු කරන ලද නොසැලකිලිමත් ප්රකාශයක් සම්බන්ධයෙන් රියල් මැඩ්රිඩ් පාපන්දු සමාජය විසින් චීන ජනතාවගෙන් නිල වශයෙන් සමාව අයැද තිබේ.
ස්පාඤ්ඤයේ ලා ලිගා තරගාවලිය හරහා චීන මාධ්ය සමූහය වෙත ලිපියක් යොමු කරමින් රියල් මැඩ්රිඩ් සමාජය මේ බව සඳහන් කර ඇති අතර, චීනය, එරට ඉතිහාසය, සංස්කෘතිය මෙන්ම ජනතාව කෙරෙහි තමන් නිරතුරුවම ඉහළ ගෞරවයක් දක්වන බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ. එම්බාපේ විසින් මීට පෙර නිකුත් කරන ලද ප්රසිද්ධ සමාව අයැදීමේ ප්රකාශයද මෙම ලිපිය සමඟ අමුණා යවා ඇත.
ප්රංශ සාකච්ඡා වැඩසටහනකදී එම්බාපේ විසින් චීනයේ හිටපු නායක මාඕ සේතුං සම්බන්ධයෙන් කරන ලද ප්රකාශයක් සහ අන්තර්ජාල ප්රහසනයක් (meme) භාවිත කිරීම හේතුවෙන් චීන ජනතාවගෙන් දැඩි විවේචන එල්ල විය. මෙම තත්ත්වය මත චීන සන්නාම කිහිපයක්ම ඔහු සමඟ පැවති හවුල්කාරිත්වයන් පවා අත්හැර දැමීමට කටයුතු කළේය.
තම ප්රකාශය නොසැලකිලිමත් එකක් බව පිළිගත් එම්බාපේ, එයින් චීනයේ සහ ලොව පුරා වෙසෙන චීන ප්රජාවගේ සිත් රිදවීම සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්රකාශ කරමින් ප්රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේය. මීට අමතරව, ස්පාඤ්ඤ ලා ලිගා සංවිධායකයන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීන පාපන්දු ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටීමට පියවර ගෙන තිබේ.

