ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් 2040 වන විට ශ්‍රී ලංකාවට රැකියා ලක්ෂයකට අධික ප්‍රමාණයක ශ්‍රම ඵලදායිතාව අහිමි වීමේ අවදානමක්

0
15

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා සේවා ස්ථානවල උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන්, 2040 වසර වන විට ශ්‍රී ලංකාවට පූර්ණ කාලීන රැකියා 145,000ක පමණ ශ්‍රම ඵලදායිතාවක් අහිමි විය හැකි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) අනාවරණය කර තිබේ.

එම සංවිධානයේ නවතම අධ්‍යයනයකට අනුව, මේ වන විටත් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සේවකයින්ට, ඵලදායිතාවට මෙන්ම ආර්ථිකයන්ට ද මෙම තත්ත්වය දැඩි ලෙස බලපාමින් පවතී. අධික උෂ්ණත්වය නිසා සේවකයින්ට නිතර විවේක ගැනීමට සිදුවීම, වැඩ කිරීමේ වේගය අඩාල වීම සහ විවිධ සෞඛ්‍ය ගැටලු මතුවීම මෙම ඵලදායිතා අඩුවීමට ප්‍රධාන හේතු වී ඇත.

මෙම අහිතකර තත්ත්වයත් සමඟ 2040 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සිදුවන සමස්ත ආර්ථික අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 26ක් තරම් ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ එළිමහනේ දැඩි ශාරීරික ශ්‍රමයක් වැය කරන සේවා ක්ෂේත්‍ර මෙම උෂ්ණත්වය ඉහළ යාමෙන් වැඩිම බලපෑමට ලක්වන අංශ ලෙස හඳුනාගෙන තිබේ.

මෙම අභියෝගයෙන් සේවකයින් ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ කඩිනමින් සකස් කරන ලෙසත්, සේවා ස්ථානවල උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රමවේද හඳුන්වා දෙන ලෙසත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය අවධාරණය කරයි. සූර්ය රශ්මිය අධික වේලාවන් මඟහැර වැඩ කරන වේලාවන් සංශෝධනය කිරීම, ක්‍රමවත් විවේක කාලසටහන් සකස් කිරීම මෙන්ම සේවා ස්ථානවල ප්‍රමාණවත් සෙවන සහ පානීය ජලය සැපයීම වැනි පියවර άවශ්‍ය බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here