ගාසා සටන් විරාමය සහ හමාස්, ඊශ්‍රායලයේ ස්ථාවරය

0
66
NEWSNOW | – මාස පහකට වැඩි කාලයක් පුරා ඊශ්‍රායලයේ සිදු කරන ඉවක් බවක් නැති බෝම්බ හෙළීම් හේතුවෙන් ගාසා තීරය සාගතයකට තල්ලු වෙමින් පවතියි. මේ නිසා බබාද කොනිත්තා තොටිල්ලද පද්දන ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි ලින්කන් හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමකට තල්ලු කිරීම සඳහා මැදපෙරදිග බලා යමින් සිටියි.
කටාරය සහ මිසරය මැදිහත්ව සිදුකෙරෙන හමාස් – ඊශ්‍රායලයේ සාකච්ඡා සඳහා මෙන්ම ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින යුදෙව් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ලින්කන් මේ සතියේ සෞදි අරාබියේ සහ මිසරයේ නායකයන් හමුවීමට නියමිතය.
ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් ප්‍රධානී ඩේවිඩ් බරෙනා මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙන දෝහා නුවරින් පිටත්ව ගොස් ඇති අතර ඊශ්‍රායලයේ නියෝජිත පිරිස තවමත් සාකච්ඡා සඳහා කටාර් අගනුවරෙහිම රැඳී සිටිති. එසේ නම් සාකච්ඡා පවතින්නේ කොතැනද හා කවුරුන්ගේ සහභාගීත්වයෙන්ද යන ප්‍රශ්නය නිතැතින්ම පැන නගියි.
විරාමයක් සඳහා හමාස් සංවිධානයේ යෝජනා කවරේද?
පසුගිය සතියේ මේ සඳහා හමාස් සංවිධානය යෝජනාවක් ඉදිරිපත් කර තිබුනි. එහි වැදගත් කරුණු පහත දැක්වේ:
  • ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විඳිමින් සිටින පලස්තීන සිරකරුවන්ගෙන් සිය දෙනෙකු වෙනුවට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු නිදහස් කරනු ඇත. (යුදෙව් ප්‍රාණ අපකරුවන් 100 කට ආසන්න සංඛ්‍යවක් හමාස් සහ අනෙකුත් පලස්තීන සටන් කාමීන් කණ්ඩායම් භාරයේ සිටින බවට විශ්වාස කෙරේ)
  • සටන් විරාමය – එකක් දින 42 ක් සහිත වන – අදියර තුනකට වෙන් කරනු ඇත.
  • පළමු අදියරෙහිදී අවතැන් වූ පලස්තීන වැසියන් ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාමට සහ ගාසා තිරයට ආධාර සැපයීමට ඉඩ සලසමින් දකුණ හා උතුර සම්බන්ධ කරන ප්‍රධාන මහා මාර්’ග දෙක වන අල්-රෂීඩ් සහ සලා අල්-ඩින් වීදිවලින් ඊශ්‍රායල හමුදා, ඉවත් විය යුතුය.
  • මුලින්ම මුදා හරිනු ලබන්නේ යුදෙව් ප්‍රාණ ඇපකරුවන් අතර සිටින ස්ත්‍රීන් සහ ළමුන්ය. ඒ වෙනුවට පලස්තීන සිරකරුවන් 700 ක් හා 1000 ක් අතර සංඛනවක් නිදහස් කළ යුතුය.
  • ප්‍රාණ ඇපයට ගෙන සිටින ඊශ්‍රායල හමුදාවට අයත් එක් ස්ත්‍රී ඇපකාරියක් නිදහස් කිරීම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විඳිමින් සිටින පලස්තීනුවන් 30 දෙනෙකු ඇතුළු තමන් තෝරාගත් පලස්තීන සිරකරුවන් 50 දෙනෙකු නිදහස් කළ යුතුය.
  • නොවැම්බර් මාසයේදී සතියක සටන් විරාමයක අදියරක් ලෙස පලස්තීන සිරකරුවන් 200 කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 80 දෙනෙකු හුවමාරු කළ යුතුය. කෙසේ වෙතත්. (ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් විශාල සංඛ්‍යාවක් මෑතක පටන් අළුතින් අත්අඩංගුවට ගෙන ඇත)
  • දෙවන අදියරෙහිදී තවත් සිරකරුවන් හා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමට පෙර ස්ථිර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතුය.
  • තුන්වන අදියරෙහි ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ වටලෑම් මෙහෙයුම් නවතා එම ප්‍රදේශයේ නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ දිය යුතුය
ඊශ්‍රායලය පවසන්නේ කුමක්‌ද?
නවතම හමාස් සටන් විරාම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්’යාලය පැවසුවේ එය තවමත් යථාර්ථවාදී නොවන ඉල්ලීම් මත පදනම් වූවක් බවයි.
හමාස් සංවිධානය පරාජය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රෆා පෙදෙසට ඇතුල් වීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති බව නෙතන්යාහු පවසා තිබේ. රෆා යනු මාස ගණනාවක සිට ඊශ්‍රායලය සිදු කරන බෝම්බ ප්‍රහාර වලින් දිව රැක ගැනීමට පලස්තීන සිවිල් වැසියන් පළා ගොස් රැස්ව සිටින අවසානම රැඳවුම්පළය.
නෙතන්යාහුගේ රෆා ආක්‍රමණ සැලැස්මට අරාබි ජාතීන් ඇතුලු ලොව බොහෝ රටවල්, ජාත්‍යන්තර සහන සංවිධාන මෙන්ම ඊශ්‍රායලයේ ගජ යහළුවා වන එක්සත් ජනපදයද එක හෙළා විරෝධය ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලය හා හමාස් දෙපාර්’ශය අතර ඇති එක් ප්‍රධානතම මතභේදයක් නම් හමාස් සංවිධානයට ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය වන අතර ඊශ්‍රායලය හමාස් සම්පූර්’ණයෙන් තුරන් කිරීමක් ගැන අවධාරනය කිරීමයි.
කෙසේ වෙතත් ඊශ්‍රායලය සිය යුද උපක්‍රම සඳහා ගෝලීය හෙළා දැකීමට මුහුණ දී සිටියි. ඊශ්‍රායලය විසින් ගාසා තීරය සම්පූර්’ණ අගුලු දෑමකට ලක් කර ඇති අතර ප්‍රහාර එල්ල කිරීමේදී සිවිල් වැසියන් සහ සන්නද්ධ සටන්කරුවන් වෙන් කර ගන්නට ඊශ්‍රායලය ගෙන ඇත්තේ ඉතා සුළු උත්සාහයකි. ඔක්තෝබර් 7 වැනිදා සිට ළමුන් 12,300 ක් ඇතුළුව 31,000 කට වැඩි පලස්තීන වැසියන් සංඛ්‍යාවක් ඊශ්‍රායල හමුදාව විසින් මරා දමා ඇත. පසුගිය වසර හතර තුළ ලොව පුරා ඇති වූ ගැටුම්වලදී ඝාතණය වුවාට වඩා පසුගිය මාස පහ තුළ ගාසා තීරයේ ඝාතණය වු දරුවන් සංඛ්‍යාව ඉතා වැඩිය.

Interactive_Gaza_children_killed_March13_2024

ඊශ්‍රායල ඔත්තු සේවය වන මොසාඩ්හි ප්‍රධානී ඩේවිඩ් බාර්’නියා අඟහරුවාදා දෝහා සිට පිටත්ව යාමට පෙර සඳුදා අලුත් සාකච්ඡා සඳහා මිසරය සහ කටාර් මැදිහත්කරුවන් හමුවූ බව කටාරය තහවුරු කර ඇත.
පලස්තීන ජාතික මුලපිරීම් ආයතනයේ මහ ලේකම් මුස්තෆා බර්’ගුටි මාර්’තු 15 දා අල් ජසීරා මාධ්‍ය සේවයට අදහස් දක්වමින් පැවසුවේ නවතම හමාස් යෝජනාව පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ යෝජනා හා සසඳන විට වඩා නම්‍යශීලී බවයි.
කෙසේ වෙතත් මෙම යෝජනාව පිළි ගන්නට හෝ සටන් විරාමයකට යන්නට හෝ නෙතන්යාහු කිසිසේත් එකග නොවනු ඇති බවද ඔහු පැවසීය. ‘මන්ද යත් මෙම යුද්ධය අවසන් වූ පසු ගාසාවෙහි නෙතන්යාහු සිදු කර ඇති දැවැන්ත යුධ අපාරාධ නිසා ඔහුට සිරගෙට යන්නට සිදු වන බව ඔහු මනාව දන්නේය. තවද ඔක්තොම්බර් 7 වෙනිදා හමාස් ප්‍රහාරය සාර්’ථක වුයේද ඔහුගේ රජයේ හා ඔහුගේ බුද්ධි අංශයේ දුබලකම් නිසා යයි ඔහුට ඊශ්‍රායලයේම දැඩිචෝදනා එල්ල වෙමින් පවතින අතර මෙයට අමතරව දුෂණ නඩු හතරක්ද ඔහුට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබේ’ යයි වැඩිදුරටත් මුස්තෆා බර්’ශුට් පෙන්වා දුන්නේය. මේ අනුව මාස කිහිපයක් හෝ නෙතන්‍යාහුට අගමැති පුටුවේ වාඩි වී සිටින්නට මෙම යුද්ධය හැර ඔහුට අන් පිහිටක් නැත. කෙටියෙන් කීවොත් මෙම යුද්ධය ඔහුට හිගන්නාගේ තුවාලය වැනිය.
කටාර් විදේශ කටයුතු අමාතනංශයේ ප්‍රකාශකයෙකු වන මජෙඩ් අල්-අන්සාරි අඟහරුවාදා අල් ජසීරා සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ රෆාහී ඊශ්‍රායලය විසින් හමුදාමය ඉලක්ක සහිතව ගොඩබිම් මෙහෙයුමක් දියත් කරයි නම් එය සටන් විරාමයක් පිළිබඳ සියලුම බලාපොරොත්තු විනාශ කරනු ඇති බවයි.
සටන් විරාම සාකච්ඡාවල නවතම වටය පසුගිය පෙබරවාරි අගදී ආරම්භ වූ නමුත් මෙතෙක් ඊශ්‍රායලය සහ හමාස් අතර ඇති වෙනස්කම් තුරන් කිරීමට තබා යටත් පිරිස අවම කිරීමටවත් පාර්’ශවකරුවන් හා මැදිහත්කරුවන් අසමත් වී සිටිති.
පෙබරවාරි අග භාගයේදී ඊශ්‍රායල ප්‍රාණ අපකරුවන් වෙනුවට පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීම උදෙසා තාවකාලික සටන් විරාමයකට එකඟ වීමට ඊශ්‍රායලය කැමැත්තෙන් සිටියේය. මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් වන රාමසාන් මාසය තුළ සති හයක සටන් විරාමයක් ගැන නිලධාරීන් සාකච්ඡා කරමින් සිටින බව එවිට ඊශ්‍රායලය මාධ්‍ය පැවසුවේය. එනමුත් රාමසාන් ආම්භ වී සති දෙකක් පමණ ගත වී තිබෙන තත්වයක පවා කිසිදු ප්‍රගතියක් අත් කර ගෙන නොමැත.
පසුගිය ඉරිදා (17) ප්‍රකාශයට පත් වූ එක්සත් ජාතීන්ගේ වාර්’තාවකට අනුව ගාසාවෙහි දරුණු සාගතයක් ඇති වීම වැළැක්විය නොහැකි තත්වයක සටන් විරාමයක් සඳහා වන අවශ්‍යතාවය වැඩි වෙමින් තිබෙන බව සඳහන්ය. මේ නිසා ගාසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සහ ආධාර අවහිර කරමින් සිටින ඊශ්‍රායලයට ලොව පුරා රටවලින් දෝෂාරෝපණ නොකඩවා එල්ල වෙමින් තිබේ.
ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති කඩකිරීම් අවසන් කිරීමට වහා පියවර නොගතහොත් ශාසාවෙහි ඇති වනු ඇති රෝග හා සාගත මරණ නිසා ගාසා තීරයේ මරණ සංඛ්‍යාව දැනට සටහන් වී ඇති 31,000 ට වඩා ඉතා ඉහළ යනු ඇත යැයි මහා බ්‍රිතාන්‍යය මුල් කර ගත් සහන සංවිධිනයක් වන ඔක්ස්ෆම් අනතුරු අගවා ඇත.
මූලාශ්‍රය අල් ජසීරා