ගාල්ල, මහනුවර සහ යාපනයටත් මෙට්‍රො බස්

0
6

බස්නාහිර පළාතට පමණක් සීමා නොවී මෙට්‍රො බස් සේවාව ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (07) කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ මාසය තුළ මෙට්‍රො බස් රථ සංඛ්‍යාව 122 දක්වා වැඩි කිරීමටත්, තවත් බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම වසර අවසාන වන විට හෝ ලබන වසරේ මුල් භාගයේදී සමස්ත බස් රථ සංඛ්‍යාව 172 දක්වා පුළුල් කිරීමටත් සැලසුම් කර ඇති බවයි.

තවද, ඉදිරියේදී මෙට්‍රො ආයතනය සමඟ ගිවිසුම්ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අංශයට ද අවස්ථාව හිමිවන අතර, ප්‍රවාහන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ලංගම සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන යන ප්‍රදේශවල නව ඩිපෝ 04ක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

දැනට මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා දිවෙන මාර්ග අංක 01 සේවාව සඳහා නව බස් රථ 15ක් යොදවා ඇති අතර, පොදු ප්‍රවාහනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල්වලින් තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here