ගංගා කිහිපයක පහත් බිම්වලට තවදුරටත් සුළු ගංවතුර අවදානමක්

0
11

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින මධ්‍යම හා මහා පරිමාණ ජලාශ 38කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසයි. විශේෂයෙන්ම දැදුරු ඔය, රාජාංගණය, ඉඟිනිමිටිය, යාන් ඔය සහ උස්ගල සියඹලන්ගමුව යන ජලාශවල වාන් දැමීම සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව හෙතෙම සඳහන් කරයි.

පවතින කාලගුණ තත්ත්වය යටතේ විශාල ගංවතුර අවදානමක් නිරීක්ෂණය නොවුණද, ජලාශ සහ ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ අගයක පවතී. ඊයේ දිනයේ දිවයිනේ වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබුණද, කළු ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 60කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ.

බොහෝ ගංගාවල ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පැවතුණද, නිල්වලා, ගිං, කළු සහ කැලණි ගංගා ආශ්‍රිත පහත් බිම් කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතී. ඒ අනුව, නිල්වලා ගඟේ තල්ගහකොඩ සහ මාතර ප්‍රදේශවලත්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේත්, කළු ගඟේ මිල්ලකන්ද, උටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලත් ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතියි. කැලණි ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ක්‍රමයෙන් පහළ ගියද, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන සහ ජාඇල වැනි පහත් බිම්වල තවදුරටත් ජලය රැඳී පැවතීමේ හැකියාවක් ඇත.

අද දිනයේ ද සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, යම් හෙයකින් වැසි ලැබෙන ප්‍රදේශවල ගංගා හා පහත් බිම්වල ජල මට්ටම් යළි ඉහළ යාමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එබැවින්, ජලය රැඳී ඇති ස්ථානවල දිය නෑම, ජල ක්‍රීඩා කිරීම සහ අනෙකුත් අවදානම් සහගත ක්‍රියාකාරකම්වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here