කොලොම්බියාවේ ප්‍රධාන කෝපි වගාකරන ප්‍රදේශය ඉලක්ක කරගනිමින් සඳුදා අලුයම බලපෑ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 224 දක්වා ඉහළ ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කඩා වැටුණු බහු මහල් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා පොලිසිය, හමුදාව සහ ස්වේච්ඡා සේවකයින් එක්ව කැණීම් යන්ත්‍ර මෙන්ම දෑත් භාවිත කරමින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
මෙම විපතින් දැඩි ලෙස හානි සිදුව ඇත්තේ කැලි සහ පෙරේරා යන නගරවලටයි. කැලි නගරයෙන් පමණක් මරණ 95ක් වාර්තා වන අතර, එහි රෝහලක ඉහළ මහල් කිහිපයක් කඩා වැටීම නිසා රෝගීන් රැසක් සිරවී ඇති අතර තවත් 600කට ආසන්න පිරිසකට එළිමහනේ ප්‍රතිකාර ලබාදීමට සිදුව තිබේ. ඊට අමතරව රිසරල්ඩා ප්‍රදේශයේ පෙරේරා නගරයෙන් මරණ 72ක්, වාලේ ඩෙල් කවුකා ප්‍රදේශයෙන් මරණ 38ක් සහ භූකම්පන කේන්ද්‍රස්ථානයට ආසන්න චොකෝ ග්‍රාමීය ප්‍රදේශයෙන් මරණ 13ක් වාර්තා වේ. මනිසාලෙස් නගරයේ ආසන දෙව්මැදුරක කොතකටද හානි සිදුව ඇත.
මේ අතර, කැලි නගරයේ සිදුවන කොල්ලකෑම් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 1,000ක් යෙදවීමට ජනාධිපති අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියේල්ලා පියවර ගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා කැලි සහ පෙරේරා යන නගරවලට සඳුදා රාත්‍රියේ සිට ඇඳිරි නීතියද පනවා ඇත.

