ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීම හේතුවෙන් රුපියල් 8,442,091ක දැවැන්ත අලාභයක් සිදුව ඇති බව රජයේ ව්යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ COPE කමිටුව විසින් 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්යාලයේ වර්තමාන මෙහෙයුම් කටයුතු සමාලෝචනය කිරීම සඳහා පාලනාධිකාරිය කැඳවා තිබූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.
2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති මෙම තඹ පටි සොරකම් සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතත්, සොරකම් කරන ලද මුළු තඹ ප්රමාණය සහ පොලිසිය විසින් සොයාගත් ප්රමාණය මෙන්ම නඩු භාණ්ඩ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා සම්බන්ධයෙන් කාරක සභාව දැඩි ලෙස ප්රශ්න කළේය. එසේම, රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්රමාණයන් පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොයෑම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි පවරා නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම වැනි අභ්යන්තර පාලන දුර්වලතා රැසක් මෙහිදී හෙළි විය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීමේ තාක්ෂණික ප්රමිතීන් සහ ආරක්ෂාව පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.
ඇඳන් 800කට අධික ධාරිතාවකින් යුත් මෙම රෝහලේ ඇතැම් වාට්ටු, ශලයාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම වෛද්යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේද, නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියට අනුව ක්රියාත්මක කරන්නේද යන්න කඩිනමින් තීරණය කර අවශ්ය පියවර ගන්නා ලෙස පාලන අධිකාරියට උපදෙස් ලබා දුන් COPE කමිටුව, එසේ පැහැදිලි තීරණයකට එළඹ නොගතහොත් ගැටලු තවදුරටත් උග්ර විය හැකි බව අවධාරණය කළේය.
මීට අමතරව, රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේ ගැටලු, ශ්රවණාගාර ඉදිකිරීම් ව්යාපෘතියේ ප්රමාදයන් සහ විශ්වවිද්යාලයට අනුබද්ධ ‘CUE Technologies Lanka (Pvt) Ltd’ සමාගමේ මූල්ය හා පරිපාලන පාලනය පිළිබඳ විගණන නිරීක්ෂණ කෙරෙහි ද අවධානය යොමු විය. විශ්වවිද්යාලයේ පාලන ව්යුහය විධිමත් කිරීම සහ පවතින පරිපාලන ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබා දීම සඳහා පවතින විශ්වවිද්යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ දැඩි අවශ්යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ත්රිවිධ හමුදාපතිවරුන් ඇතුළු කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


